කයිලි බොරු කිව්වද?

kylie boru kiwwada

කයිලි ජෙනර් කියලා කිව්වාම කවුද නොදන්නෙ?  කයිලි කියලා කියන්නෙ ලෝකෙ ඉන්න කෝටිපතිනියන් අතරින් එක්කෙනෙක්. හැබැයි විශේෂත්වෙ තමයි මෙයා ලෝකෙ ඉන්න ළාබාලතම කෝටිපතියන්ගෙන් එක්කෙනෙක් වීම. ඒත් ඔයා කියන්න පුළුවන් ‘අනේ ඕක මහලොකු දෙයක් ඇයි, එයා ලෝක ප්‍රසිද්ධ පවුලක එක්කෙනෙක්නෙ’ කියලා. ඒත් කාඩේෂියන් පවුලේ වෙන කිසිම සාමාජිකයෙක් කයිලිට තරම් සාර්ථකත්වයක් නෑ නේද? කොහොමද එහෙම උනේ? මේ කතාව ඇත්තටම ඇත්තද? ඒ ගැන කියන්න කලින් කයිලි ගැන අපි විස්තර ටිකක් දැනගමු.

සුප්‍රසිද්ධ කාඩේෂියන්-ජෙනර් පරම්පරාවේ තවත් එක පුරුකක් වුණ කයිලි ජෙනර් ඉපදුණේ 1997 වර්ෂයේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ. ඇය නිරූපණ ශිල්පිනියක් වගේම ව්‍යාපාරිකාවක්. කයිලි කාලයක් ‘Keeping up with the Kardashians’ TV series ඒකෙත් පෙනී සිටියා. ඒ series එකේ episode එකකට, 2014 වර්ෂය වන විට ඇය ඉපයූ මුදල ඩොලර් ලක්ෂ පහක්. ඒ වන විට ඇයට වයස 17 ක්. ඊට පස්සෙ, නිරූපණ කටයුතු වලින් උපයාගත් ඩොලර් 250,000 ක මුදලක් ඇය ඒ අවුරුද්දෙම ‘Kylie Lip Kits’ ලෙස හැඳින්වුණු තොල් ආලේපන මාලාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ආයෝජනය කරලා තියෙනවා.

2015 වර්ෂයේ දී ඇය ‘Kylie Cosmetics’ යන නමින් හැඳින්වෙන සමාගම ආරම්භ කරනවා. 2020 වර්ෂයේ දී Kylie Cosmetics සමාගමේ කොටස් වලින් 51% ක් Coty. Inc. සමාගමට ඩොලර් මිලියන 600 ක මුදලකට අලෙවි කළා. දැනටත් ඇයට එම සමාගමේ කොටස් වලින් 44% ක හිමිකාරීත්වයක් තියෙනවා. කයිලි Puma සමඟ එකතු වී කරපු වැඩකටයුතු නිසා  සහ ඇයගේම App එකක් නිර්මාණය කිරීම නිසා කයිලිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම, ලෝකයේ ජනප්‍රියතම ඉන්ස්ටග්‍රෑම් ගිණුම් පහ අතරට එක් වුණා.

කයිලි ජෙනර් මේ සමාජ මාධ්‍යයන් හරහා මිල අධික සුඛෝපභෝගී කාර් රථ වලත්, ඇය යෙදුණු ආකර්ෂණීය නිවාඩු සංචාර වලත් පින්තූර, වීඩියෝ ආදිය පළ කරමින් සුඛෝපභෝගීත්වය පිළිබඳ ප්‍රතිරූපයක් නිර්මාණය කළා. ඒ නිසාම කයිලි, තමන් යටතේ සන්නාමයක් එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නවා වෙනුවට තමන්ම බ්‍රෑන්ඩ් එකක් බවට පරිවර්තනය කරගත්තා. ඇය සමාජ මාධ්‍ය හරහා බෙදාගන්නා මේ පින්තූර ආදිය ඉන්ස්ටග්‍රෑම් හී මිලියන 215 කට අධික පිරිසකගේ ෆීඩ් එකේ පෙන්වනු ලැබෙනවා.

“ඒ තමයි සෝෂල් මීඩියා වල තියෙන බලය, මං කිසිම දෙය පටන් ගන්නත් කලින් මට ලොකු රීච් එකක් තිබුණා.” කයිලි ඇගේ සමාජ මාධ්‍ය අත්දැකීම ගැන කිව්වෙ එහෙම.

ඉතිං මේ තරම් සාර්ථකත්වයක් තියෙන කයිලි 2018 දී, ඒ කියන්නෙ ඇයට අවුරුදු 21 දී ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාවෙන් ලෝකයේ  ළාබාලතම බිලියනපතිනිය විදියට නම් කරනු ලැබුවා. ඒත් 2020 වර්ෂයේ දී ෆෝබ්ස් සඟරාවෙන්ම, කයිලි ඇගේ වත්කම ගැන ලබා දීලා තියෙන තොරතුරු අසත්‍ය බවට කයිලීට චෝදනා කළා. ඒ වුණාට මේ කරුණ කයිලි හා ක්‍රිස් ජෙනර් පාර්ශවයෙන් ප්‍රතිකේෂ්ප කරනු ලැබුවා. අන්තිමේදි ෆෝබ්ස් සඟරාවේ චෝදනා ඇත්තක් කියලා ඔප්පු වුණත් කයිලීගේ වත්කම් වල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 900 ක් පමණ වුණා. මේ වටිනාකම එච්චරම විස්මයජනක වෙන්නෙ කයිලී මේ සියල්ල උපයාගන්නෙ ඉතාම කෙටි කාලයකින් වීම නිසයි. ඇගේ ව්‍යාපාරය ආරම්භ කළේ 2015 නිසා තවමත් මේ ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු දහයක්වත් නෑ. ඉතිං ෆෝබ්ස් සඟරාවේ චෝදනා ඇත්ත වුණත්, ඇය උපයලා තියෙන මුදල් ප්‍රමාණය හා සාර්ථකත්වය නම් සුළුපටු නෑ.

+1
0
+1
1
+1
0
+1
1
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?