ඇමරිකන් කෝපි කඩේ

ස්ටාර්බක්ස් කොෆීෂොප්ස් ගැන අහලා නැති කෙනෙක් ලෝකෙ නැති තරම්. ස්ටාර්බක්ස්ලගෙ ඉතාම ප්‍රණීත පාන වර්ග ලෝකෙ පුරාම ඉතාම ප්‍රසිද්ධයි. ඇත්තටම ස්ටාර්බක්ස් ජනප්‍රිය වෙන්න හේතුව එයාලගෙ ඒ පාන වල තියෙන රසවත් බව විතරම ද? එහෙම නෙවෙයි නං, ස්ටාර්බක්ස් ලෝකෙ පුරාම මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු මොනව ද?

මේ ලිපියෙන් කතා කරන්නෙ ස්ටාර්බක්ස්, එයාලගෙ නිෂ්පාදන විකුණගන්න යොදාගන්න සරල ඒත් ඉතාම උපක්‍රමශීලි ක්‍රම සහ විධි කීපයක් ගැන.

ස්ටාර්බක්ස් කියලා කියන්නෙ ඇමරිකන් සමාගමක්. ඒ වගේම මේක තමයි ඇමරිකාවෙ විශාලතම කොෆීහවුස් ජාලය. 1971 වසරේ දී ජෙරී බෝල්ඩ්වින්, ගෝර්ඩන් බොව්කර් හා සෙව් සීගල් යන තුන්දෙනා එකතු වෙලා ඇමරිකාවේ සියැට්ල් වල සුප්‍රසිද්ධ පයික් ප්ලේස් වෙළෙඳ සංකීර්ණයේ දී ආරම්භ කරපු ස්ටාර්බක්ස්, අද වන විට ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා.

මේ සුප්‍රසිද්ධ ස්ටාර්බක්ස්ලගෙ මේ තරම් මිනිස්සු අතරට යන්න තරම් එයාලා මිනිස්සුන්ව ස්ටාර්බක්ස් කොෆීෂොප්ස් වලට ඇදගන්න භාවිතා කරන ක්‍රම සහ විධි හරිම අපූරුයි සහ එයාලටම ආවේණිකයි කියලත් කියන්න පුළුවන්.

ස්ටාර්බක්ස්, එයාලා හදන කෝපි වල ඉහළ ගුණාත්මක භාවය ගැන පාරිභෝගිකයට හැඟීමක් දෙන්න, එයාලගෙ නිෂ්පාදන ඉතාලි උරුවක් තියෙන නම් වලින් නම් කරලා තියෙනවා.

ස්ටාර්බක්ස් කොෆීහවුස් වලදී, එයාලා පාරිභෝගිකයගෙ නම ඒ පාරිභෝගිකයට අදාළ කෝප්පෙ ඉංග්‍රීසි කැපිටල් අකුරින් ලියනවා. එහෙම කරන්නෙ පරිභෝගිකයයි, ස්ටාර්බක්ස් කොෆී ෂොප් එකයි අතර තියෙන මිත්‍රත්ත්වය ගැන හැඟීමක් පාරිභෝගිකයා තුළ ඇති කරවන්න. එයාලා තමන්ගෙ පාරිභෝගිකයගෙ නම කෝප්පෙ පිට පැත්තෙ ලියලා, කෝපි එක සූදානම් කරලා ඉවර උනාම අදාළ නම කියලා කතා කරනවා. මේකෙන් පාරිභෝගිකයයි, ස්ටාර්බක්ස් කොෆීෂොප් එකයි අතරෙ සම්බන්ධයක් ගොඩ නැගෙනවා.

මිනිස්සු අනෙක් අයට අයිති දේවල් වලට වඩා තමන්ට අයිති දේවල් ගැන වැඩිපුර සංවේදී වෙනවා. ඒ නිසා, කොෆී කප් එකේ තමන්ගෙ නම ලියලා තියෙනවා දැක්කාම එයාලට ඒක තමන්ගෙම වගේ ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ස්ටාර්බක්ස්, ‘එන්ඩොව්මන්ට් ඉෆෙක්ට්’ කියන මේ ඉෆෙක්ට් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙන්නෙ එහෙමයි.

ඒ වගේම, සමහර වෙලාවට, කොෆීෂොප් එකේ බැරිස්ටා පාරිභෝගිකයගෙ නම ලියන විදිය වැරදි වෙන්නත් පුළුවන්. ඒක හරිම හාස්‍යජනක වගේම විනෝදජනක දෙයක්. ඒ වගේම ගොඩක් පාරිභෝගිකයො තමන්ගේ නම වැරදියට ලිව්ව ස්ටාර්බක්ස් කොෆී කප් එකත් එක්ක ගත්ත සෙල්ෆි, සමාජ මාධ්‍ය  වලට දානවා. එකෙන් ස්ටා‍ර්බක්ස් එකට නොමිලේම එන වෙළෙඳ වටිනාකම ඉතාම ඉහළයි.

ඒ වගේම, අලෙවිකරණයේ දී භාවිතයට ගන්නා ‘අයිකියා ඉෆෙක්ට්’ එකත්, ස්ටාර්බක්ස් බොහොම වාසිදායක විදියට යොදා ගන්නවා. ඒ කියන්නෙ ස්ටාර්බක්ස් යන කෙනෙක්ට පුළුවන්, තමන්ගෙ කැමැත්තෙන්ම තරමක් වැඩි මිලක් ගෙවලා වුණත් තමන්ට කැමති ආකාරයේ කෝපි පානයක් පිළිවෙල කරවගන්න. මෙහෙම කරන එකෙන් නිකංම නිකං කෝපි කෝප්පයකට වඩා අත්දැකීමක් මිනිස්සුන්ට විකුණන්න ස්ටාර්බක්ස් උත්සාහ කරනවා.

ස්ටාර්බක්ස්ලා උපරිමයෙන් ප්‍රයෝජන අරගෙන තියෙන තවත් ආචරණයක් තමයි කෑෂ්ලස් ඉෆෙක්ට් කියන්නෙ. ස්ටාර්බක්ස් මිල දර්ශන වල කිසිම වෙලාවක ඩොලර් සංකේතය ප්‍රදර්ශනය කරන්නෙ නෑ. මේකට හේතුව තමයි මුදල් ඒකකය ප්‍රදර්ශනය කරන්නෙ නැති අවස්ථා වල මිනිස්සු වැඩියෙන් වියදම් කරන්න නැඹුරු වෙන බව පර්‍යේෂණ වලින් හොයාගෙන තිබීම.

ඒ වගේම ස්ටාර්බක්ස් කොෆීෂොප්ස් වලදී එයාලා ඒ පාන වර්ග පෙන්නන්නෙ තවත් කෑම වර්ග එක්ක. ඒ කියන්නෙ කොම්බො එකක් විදියට. කෝපි එකක් විතරක් ගන්නවට වඩා, ඒ එක්කම තවත් පොඩි කෑමක් ගන්න එකට මිනිස්සු පෙළඹෙනවා. මේකෙන් ස්ටාර්බක්ස්ලගෙ අලෙවිය තවත් වැඩි වෙනවා. මේකට කියන්නෙ චියර්ලීඩර් ඉෆෙක්ට් එක කියලා.

ඉතිං ලෝකෙ තියෙන අනික් කොෆීෂොප්ස් අභිබවා ස්ටාර්බක්ස් ලෝකෙ මෙච්චර ප්‍රසිද්ධ වෙන එක පුදුමයට කරුණක් නෙවෙයි නේද?

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?