Nestle සමාගම ජපන්නුන්ට Nescafe පෙව්ව හැටි

Nestle samagama japannunta Nescafe pewwa hati

තේ පානයට මුල් තැනක් දුන් ජපානයට දෙවන ලෝක යුද්ධයෙන් පසුව Nestle සමාගම Nescafe හඳුන්වා දුන්නා. නමුත් ජපන් වැසියන් Nescafe ප්‍රතික්ෂේප කිරීමත් සමග තේ පානයට ඇලුම් කළ සංස්කෘතියක් තිබුණ ජපන් වැසියන් කෝපි පානයට හුරු කරවන එක ටිකක් අමාරු වැඩක් බව Nestle සමාගමට තේරුම් ගියා. ඇත්තටම ජපානයේ Nescafe අලෙවිය අසාර්ථක වීම නිසා Nestle සමාගම කලකිරුණා. මේකට පිළියමක් හොයන්න Nestle සමාගම තීරණය කළා.

ඒ අනුව 1975දී Nestle සමාගම තීරණය කළා ජපන් වැසියන් ඇයි කෝපිවලට අකමැති කියන හේතුව ගැන හොයන්න ප්‍රංශ මනෝ විශ්ලේෂකයෙකු සහ අලෙවිකරණය පිළිබඳ විශේෂඥයෙකු වූ Clotaire Rapailleගේ සහය ලබා ගන්න. Clotaire Rapaille මේ ගැන හොයන්න පර්යේෂණ කළා. ඔහු ජපන් ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් සමග පර්යේෂණ කිහිපයක්ම සිදු කළා. එක් පර්යේෂණයකදී ඔහු කණ්ඩායමේ සාමාජිකයන්ට පැවසුවා තම තමන්ගේ ළමා කාලයේ මතකයන් ගැන විස්තර කරන්න කියලා. ඒ අතර තමන් රස විඳි විවිධ ආහාර වර්ග සහ ආහාර නිෂ්පාදන ගැනත් විමසීමක් කළා. මෙහිදී කෝපි සම්බන්ධයෙන් විමසූ විට කිසිම පුද්ගලයෙක්ට කෝපි සම්බන්ධ බැඳීමක් ළමා කාලයේ නොතිබුණ බව Clotaireට අනාවරණය කරගන්න හැකි වුණා. ඔවුන්ට පානයක් සම්බන්ධ විශාලම බැඳීමක් තේ සමග තිබුණ බවත් මෙහිදී අනාවරණය වුණා. මේ කරුණ Nestle සමාගම නව වෙළඳ උපක්‍රමයක් කරා යා යුතු බවට සංඥාවක් දුන්න අනාවරණයක් වුණා.

Nescafe අලෙවිය ජපානය තුළ අසාර්ථක වීමට බලපෑ හේතුව තරමක් බැරෑරුම් එකක් බවත් තවදුරටත් Nescafe අලෙවි ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් කිරීම නිශ්ඵල දෙයක් බවත් Nestle සමාගම සමග සාකච්ඡා කළ Clotaire සමාගමට දැන්වූවා. ඒ වෙනුවට මුලින්ම Nestle සමාගම කෝපි රසැති ටොෆි වැනි කුඩා දරුවන් ප්‍රිය කරන රසකැවිලි කෝපි රසයෙන් යුක්තව නිෂ්පාදනය කර ජපාන වෙළඳ පොළට නිකුත් කළ යුතු බව Clotaire යෝජනා කළා. ඒ තුළින් ජපාන දරුවන් තුළ Nestle සමාගමේ කෝපි රසයට ඇල්මක් ක්‍රමයෙන් ඇති කළ හැකි බව Clotaire සඳහන් කළා. එම ඇල්ම ඒ දරුවන් වැඩිහිටියන් වන දිනයක ඔවුන්ගේ ළමා කාලයේ මතකයක් බවට පත්වන අතර ඒ සමග මානසික බැඳීමක් ද වැඩිහිටි වියට පත්වන ඒ දරුවන්ට ඇති කරවන්න කෝපි රසැති රසකැවිලි සමත් වේ යැයි යන උපකල්පනය මත Clotaireගේ උපදෙස් පරිදි කෝපි රසැති රසකැවිලි ජපාන වෙළඳ පොළට නිකුත් කරන්න Nestle සමාගම කටයුතු කළා. කෝපි රසැති රසකැවිලි ජපාන වෙළඳ පොළ තුළ ඉතා ජනප්‍රිය වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. කුඩා ළමුන් අතර විතරක් නෙමෙයි ක්‍රමයෙන් ජපන් වැඩිහිටි ජනතාව අතරට ද මේ රසකැවිලි ගෙනයන්න Nestle සමාගමට හැකි වුණා.

දැන් තමයි කතාවෙ හොඳම කොටස. Nestle සමාගම දශකයකට පමණ කාලයකට පස්සේ නැවතත් ජපාන වෙළඳ පොළට කෝපි නිෂ්පාදන නිකුත් කළා. කෝපි සම්බන්ධයෙන් මුල් වතාවට වඩා වෙනස්ම විදියේ සුබවාදී ප්‍රතිචාර ජපන් ජාතිකයන්ගෙන් මෙවර Nestle සමාගමට හිමි වුණා. කෝපි රසැති රසකැවිලි රස විඳි සමහර දරුවන් මේ කාලය වෙනකොට තරුණ වියට පා තබලා තිබුණා වගේම ඒ රසයට ආසා කළ නව යොවුන් වියේ සිටි යෞවනයන් පවා මේ වෙනකොට වයසින් මුහුකුරා ගිහින් තිබුණා. දිගුකාලීන වෙළඳ උපක්‍රමය අතිසාර්ථකව ජයග්‍රහණය කරන්න Nestle සමාගමට හැකි වුණා. පසුගිය 2022 වර්ෂය වන විට ජපානයේ වාර්ෂික ක්ෂණික කෝපි පරිභෝජනය ඉතා ඉහළ අගයක් ගත්තා වගේම Nestle සමාගමට ජපානය තුළ විශාල වෙළඳ පොළක් නිර්මාණය කරගන්නත් හැකි වුණා.

නිෂ්පාදනයක් හෝ සේවාවක් යම් ප්‍රදේශයකට හඳුන්වාදීමේදී එය එම ප්‍රදේශයේ වෙළඳ පොළ ආක්‍රමණය කරන තැනට එය ගෙන එන්න නම් අදාළ ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම පිළිබඳ මනෝ සමාජීය අවබෝධයක්, සමහර අවස්ථාවල දීර්ඝකාලීන උපක්‍රම සමග හොඳ ඉවසීමක් අවශ්‍ය බව Nescafe ජපානයේ ජනප්‍රිය පානයක් බවට පත් කරන්න Nestle සමාගම ගත් උත්සහයෙන් පෙනී යනවා.

+1
2
+1
10
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?