සන්නිවේදනය යනු අප සෑම දෙනාටම ඉතා වැදගත් වන දෙයක්. සන්නිවේදනය නොමැතිව ජීවිත් වීම ඉතා දුෂ්කරයි. කතා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම, ලිවීම, කියවීම, අවබෝධය, මේ සියල්ලම සන්නිවේදනයෙන් තොරව කළ නොහැකියි.
සන්නිවේදනය කියලා සරලව හඳුන්වන්නේ අන් අය සමඟ වචන, සංඥා හෝ තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රියාවලියටයි. එය වාචිකව හෝ අවාචිකව සිදු කරනු ලැබේ. ඵලදායි සන්නිවේදනය මිනිසුන්ව සමීප කරයි. සන්නිවේදනය ප්‍රධාන ආකාර දෙකකට බෙදනු ලැබේ. ඒ වාචික සන්නිවේදනය හා අවාචික සන්නිවේදනය ලෙසයි.
වාචික සන්නිවේදනය කියලා කියන්නේ මුහුණට මුහුණ සිදුකරන අන්තර්ක්‍රියා ඇතුළත් සන්නිවේදන ක්‍රමයක්. අවාචික සන්නිවේදනය කියලා කියන්නේ ශරීර භාෂාව සහ අභිනයන් මඟින් සිදු වන්නක්.
සන්නිවේදන ක්‍රමවල පරිණාමය:
මිනිසා ආරම්භයේ සිටම සන්නිවේදනය සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. තාක්ෂණයේ දියුණුවට පෙර මේ සන්නිවේදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළේ ඉතාමත් ප්‍රාථමික ක්‍රමයන්. අපි බලමු එදා ඉඳන් අද දක්වා කොහොමද මේ සන්නිවේදන ක්‍රම විකාශනය වුණේ කියලා.
ගුහා සිතුවම්
ගුහා සිතුවම් යනු සන්නිවේදනයේ පැරණිතම ක්‍රමයයි. භූමි සලකුණු කිරීම සඳහා ඒවා භාවිතා කරන ලදී. මෙම සිතුවම් හරහා ප්‍රධාන සිදුවීම් ද සටහන් විය. ප්‍රංශයේ චෞවෙට් ගුහාවේ තමයි පැරණිතම ලෙන් චිත්‍රය තියෙන්නේ. එම සිතුවම නිමවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 30,000 දී පමණය.
සන්නිවේදනය සඳහා සංකේත
පණිවිඩ යැවීම සඳහා විවිධ සලකුණු සහ සංකේත භාවිතා කිරීම තමයි මෙහිදී සිදු වුණේ. පසුකාලීනව අදහස් හා සංකල්පයන් ඉදිරිපත් කිරීමට ග්‍රැෆික් සංකේත භාවිතා කරා. ඊට පෙර භාවිතා කරපු කෙටි සංකේත තමයි චීන ජාතිකයන්ට අක්ෂර මාලා නිර්මාණය කිරීමට පසුව උපකාරී වුණේ.
දුම් සංඥා
මෙම සංඥා පණිවිඩ යැවීමට තමයි භාවිතා කරේ. එනම් යම්කිසි විපතක් සිදු වූ විට එය තම පිරිසට දැන්වීමට මෙය වැඩි වශයෙන් යොදාගත්තා. සුප්‍රසිද්ධ ග්‍රීක ඉතිහාසඥයෙකු වුණු පොලිබියස් හෝඩිය නිරූපණය කිරීමට මේ දුම් සංඥා භාවිතා කරා.
පක්ෂීන් මඟින්
පක්ෂීන් භාවිතා කර පණිවිඩ යැවීම අතීතයේ සිදු වූ ප්‍රධාන සන්නිවේදන ක්‍රමයක්. යුධමය රහසිගත පණිවිඩ යැවීම සඳහා වැඩි වශයෙන් මෙම ක්‍රමය භාවිතා කළ අතර පරවියන්, ගිරවන් මේ සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා ලදී.
තැපැල් පද්ධතිය
තැපැල් පද්ධතිය ආරම්භ කිරීමත් සමඟ ඈත පළාත්වල සහ වෙනත් රටවල සිටින තම හිතවතුන් සමඟ සන්නිවේදනය කිරීමට මිනිසුන්ට අවස්ථාවක් ලැබුනා. තැපැල් පෙට්ටි භාවිතය සහ ලිපි බෙදා හැරීම මෙයින් සිදු වුණා. වර්තමානයේ පවා තවමත් ලිපි මඟින් සන්නිවේදනය සිදු කරන අතර තාක්ෂණයේ දියුණුවත් සමඟ එය ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යමින් තිබේ.
පුවත්පත්
පළමු මුද්‍රණ යන්ත්‍ර පද්ධතිය ජර්මානු ජාතික ජොහැන්නස් ගුටන්බර්ග් විසින් හඳුන්වා දීමත් සමඟ මේ පුවත්පත් කලාව ලෝකයට හඳුන්වා දුන්නා. පුවත්පත් කියවීමට අතීතයේ සිටම මිනිසුන් පුරුදු වී සිටියත් තාක්ෂණයේ දියුණුවත් සමඟින් මිනිසුන් බොහෝ දෙනා ජංගම දුරකථන හා පරිගණක සඳහා යොමු වුණා.
ගුවන් විදුලිය
මුද්‍රිත මාධ්‍ය පැමිණීමෙන් පසුවයි ගුවන්විදුලිය හඳුන්වා දුන්නේ. ගුවන්විදුලිය මිනිසුන්ට ප්‍රවෘත්ති මෙන්ම විනෝදාස්වාදය ද සපයන මාධ්‍යයක් වුණා. ලෝක යුද්ධ සමයේ ප්‍රවෘත්ති බෙදා හැරීම සම්බන්ධයෙන් ගුවන්විදුලිය දැවැන්ත මෙහෙවරක් ඉටු කරා.
දුරකතනය
පළමු දුරකතනය 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් හඳුන්වා දුන් අතර එය සොයා ගැනීමෙන් වසර 50 ක් ඇතුළත දුරකතනය සෑම නිවසකම සහ කාර්යාලයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වුණා. ස්ථාවර දුරකතන සේවාව ආරම්භ වීමෙන් පසු ජංගම දුරකතන 1973 දී හඳුන්වා දුන්නා. ඒ සමඟ සන්නිවේදන ලෝකය උඩු යටිකුරු වුණා.
රූපවාහිනිය:
අද වන විට රූපවාහිනියක් නොමැති නිවසක් සොයා ගැනීමටවත් නොහැකි තරම්. රූපවාහිනිය මඟින් විනෝදාස්වාදය වගේම ප්‍රවෘත්ති සැපයීමත් සිදු කරනවා.
අන්තර්ජාලය
Tim Berners-Lee විසින් 1989 දී World Wide Web සොයා ගත්තා. අන්තර්ජාලය හරහා අපට ලෝකයේ ඕනෑම තැනක ඕනෑම දෙයක් හොයන්න පුළුවන්. එහෙම ආරම්භ වුණු අන්තර්ජාලයට මිනිසුන් අද වෙද්දි නම් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි.
විද්‍යුත් තැපෑල හා සමාජ මාධ්‍ය
අන්තර්ජාලය බිහි වීමත් සමඟ විද්‍යුත් තැපෑල ආරම්භ වුණා. එය අද වන විට ඉතාමත් වැදගත් සන්නිවේදන ක්‍රමයක්. ලිපි මඟින් සිදු කළ සන්නිවේදනය දියුණු වීමක් ලෙස විද්‍යුත් තැපෑල හඳුන්වා දිය හැකියි.
සමාජ මාධ්‍ය ආරම්භ වීමත් සමඟ කොපමණ දුර රටක හිටියත් ඉතා ඉක්මනින් මුහුණෙන් මුහුණ බලාගෙන සන්නිවේදනය කළ හැකි Skype, WhatsApp, Facebook වැනි නවීන මෘදුකාංඟ බිහිවුණා.
වර්තමානයේදී නම් මේ සන්නිවේදනය ඇත්තටම ගැටලුවක් නෙවේ. කොටින්ම කිව්වොත් අභ්‍යවකාශය මත සිට වුවද සන්නිවේදනය කිරීමට තරම් මේ සන්නිවේදනය දියුණු වෙලා කිව්වොත් නිවැරදියි.