දම් පැහැ එළදෙනගෙන් මාකටින් ඉගෙන ගමු

purple cow

ඔයා කොහේ හරි යන අතරේ ඔයාට පාර අයිනේ ඉන්න එළදෙනක් දකින්න ලැබුණා කියලා හිතන්න. ඔයා ඒ එළදෙන දිහා බලාගෙන අලුත් දෙයක් දැක්කා වගේ “මෙන්න එළදෙනක්!” කියලා පුදුමයෙන් කෑගහවි ද? ඔයා දන්න කියන අයට ඒ ගැන කියාවි ද?, නෑ. ඔයා පාඩුවේ ඔයාගේ ගමන යනවා. තව ටික දුරක් යනකොට ඔයා තවත් එළදෙනක් දකිනවා. ඒත් ඔයා ඔයාගේ ගමන යනවා. ඒත් එක මොහොතක ඔයා දකිනවා පාර අයිනේ ඉන්න දම් පාට එළදෙනක්. දැන් නම් ගොඩක් දුරට වෙන්නේ ඔයා නතරවෙලා එළදෙන දිහා පුදුමයෙන් බලන එක. ඒ දම් පාට එළදෙනගේ ෆොටෝ ගන්න එක. ඔයා සමහර විට ඒ ෆොටෝ සමාජමාධ්‍යවල පවා share කරගනීවි. ඒ වගේම දන්න කියන හැමෝටම කියාවි ඔයා දම් පාට එළදෙනක් දැක්කා කියලා. මාධ්‍ය ආයතනවලින් පවා අදාළ ස්ථානයට ඇවිත් ඒ ගැන වාර්තා කරාවි.

Seth Godin විසින් රචිත Purple Cow කෘතිය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු ඔයාට වගේම සාර්ථක වෙන්න කැමති හැමෝටම වැදගත් පාඩමක් කියලා දෙනවා. ඔයාගේ නිෂ්පාදනයක, සේවාවක අලෙවිය වැඩි කරගන්න වගේම ඔයාව විශිෂ්ට බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරගන්නත් රාමුවෙන් පිට හිතන්නත් මේ පොත ඔයාට උදව් වෙයි. Purple Cow “Transform your business by being remarkable” කෘතිය කැපී පෙනෙන ලෙස ඔයාගේ ව්‍යාපාරයේ වෙනසක් ඇති කරගන්න ගොඩක් වැදගත් වෙනවා.

Seth Godin මේ පොතෙන් කියන්නේ මේ ලිපියේ මුල් ඡේදයේ තිබුණා වගේ කතාවක්. Normal is boring කියලා කියනවා වගේ Seth Godin කියන්නේ ව්‍යාපාරයකදී එකම විදියකට ඉන්නේ නැතුව සම්ප්‍රදාය බිඳ දමන්න කියන එක. අලෙවිකරණයේදී P අකුරෙන් පටන් ගන්න අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. Product, Pricing, Promotion, Positioning, Publicity, Packaging වගේ අවධානය යොමු කළ යුතු Ps කීපයක්ම තිබෙනවා. මේ කෘතියෙන් Seth Godin හඳුන්වලා දුන්නේ අලුත්ම P එකක්. ඒ තමයි Purple Cow.

ඔහු කියන්නේ, හොඳම දෙයක් නිර්මාණය කරන එක නෙමෙයි කරන්න ඕන Remarkable එහෙම නැත්නම් කැපී පෙනෙන වෙනසක් සහිත විශිෂ්ට දෙයක් කරන්න කියන එක. සුපර්මාකට් එකට ගියොත් යම් නිෂ්පාදනයක විවිධ බ්‍රෑන්ඩ් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ බ්‍රෑන්ඩ් අතර Remarkable Brand එකක් වෙන්න ඔයාගේ නිෂ්පාදනයට පුළුවන් නම් ඒක තමයි පාරිභෝගිකයා මිල දී ගන්න පෙළඹෙන්නේ. Seth Godin කියනවා මිනිස්සුන්ට යමක් මිල දී ගන්නකොට තෝරාගන්න ඕන තරම් නිෂ්පාදන තිබෙනවා, ඒත් ඔවුන් කාර්යබහුල නිසා ඔවුන්ට යමක් මිල දී ගැනීමේදී වැය කරන්න තිබෙන කාලය අවමයි කියලා. ඒ නිසා ඔයාගේ නිෂ්පාදනයට අලුත්ම P අකුර එහෙම නැත්නම් දම් පැහැ එළදෙන කියන සංකල්පය ඇතුළත් කරගන්න එක ඔයාගේ ව්‍යාපාරයට ගොඩක් වැදගත් වෙනවා.

වැදගත්ම දේ රාමුවෙන් පිට හිතන එක. Seth Godin මේ පොතේ එක තැනක කියනවා අලුත් අදහස්වල අඩුවක් නෙමෙයි තියෙන්නේ අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ගේ තියෙන බය නිසයි කියලා. ඒ නිසයි Purple Cow සංකල්පය ක්‍රියාවට නැංවෙන්නේ නැත්තේ කියලා ඔහු කියනවා. සමහර ආයතන අලුත් අදහස්වලට බියක් දක්වන බවත්, ඒවා ක්‍රියාත්මක කළොත් තම ව්‍යාපාරයට විවේචන එල්ලවෙයි කියන බිය නිසා අලුත් සහ නිර්මාණශීලී දේවල් අත්හදා බලන්න ආයතන මැළි වන බවත් ඔහු පවසනවා.

ඔයාටත් විශිෂ්ට ව්‍යාපාරයක්, බ්‍රෑන්ඩ් එකක් ගොඩනංවා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයා සම්ප්‍රදාය අධ්‍යයනය කරගෙන ඉන්පසුව එය බිඳ දමන්නම ඕන. රාමුවෙන් පිට හිතන්නම ඕන.

+1
2
+1
10
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?