සිහිනය අත් නොහැරි ක්‍රිස් ගාඩ්නර්ගේ කතාව

Pursuit of happiness

සත්‍ය කතාවක් පාදක කරගෙන 2006 වර්ෂයේදී තිරගත වුණ Gabriele Muccino අධ්‍යක්ෂණය කළ The Pursuit of Happyness චිත්‍රපටය පුද්ගලයෙක්ගේ ජීවිතය වෙනස් කරන්න සමත් චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ දැවැන්ත ව්‍යාපාරිකයෙක්, අභිප්‍රේරණ කථිකයෙක් (Motivational Speaker), රචකයෙක් වූ ඇමරිකානු ජාතික ක්‍රිස් ගාඩ්නර් එහෙමත් නැත්නම් ක්‍රිස්ටෝපර් පෝල් ගාඩ්නර් කියන අප්‍රතිහත ධෛර්යයකින් යුත් මිනිසාගේ කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. විල් ස්මිත් තමයි ක්‍රිස් ගාඩ්නර්ගේ චරිතයට පණ පොවන්නේ. විල් ස්මිත්ගේ පුතා, ජේඩ්න් ස්මිත් තමයි චිත්‍රපටයේ ක්‍රිස්ගේ පුතාගේ චරිතයට පණ පොවන්නේ.

ක්‍රිස් ගාඩ්නර් කියන්නේ විශාල ආර්ථික අර්බුදයක් එක්ක වගේම ජීවන අරගලයක් එක්ක සටන් කළ පුද්ගලයෙක්. පුංචි පුතාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නවත්වලා තමයි ක්‍රිස් සහ බිරිඳ රැකියාවට යන්නේ. චිත්‍රපටය පටන් ගන්නේ ක්‍රිස්, පුතාව අරන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යන දර්ශනයකින්. දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ එළිමහනේ බිත්තියක Happiness කියන වචනේ ලියලා තිබුණේ Happyness කියලා. ක්‍රිස් උදේ පුතාව මධ්‍යස්ථානයට භාර දීලා එළියට එනකොට එතැන හිටි පුද්ගලයාට කියනවා “මේක කවද්ද හරිගස්සන්නේ? Happiness ලියද්දී එන්න ඕන y නෙමෙයි i” කියලා.

ක්‍රිස්, ස්කෑනර් (bone-density scanner) යන්ත්‍ර විකුණන එක තමයි කළේ. X-Ray යන්ත්‍ර තිබෙන නිසාත් ස්කෑනර් එක X-Ray යන්ත්‍රවලට වඩා හොඳ වුණත් මිල අධික නිසාත් බොහෝ වෛද්‍යවරු මේ ස්කෑනර් එක මිල දී ගන්න කැමති වුණේ නැහැ. ක්‍රිස් වෛද්‍යවරුන්ව මුණ ගැහිලා ස්කෑනර් යන්ත්‍රය ගැන කියලා විකුණන්න උත්සහ කළත් හරිම අමාරුවෙන් යන්ත්‍රයක් දෙකක් විකුණගන්න ලැබුණා මිසක් හිතුව තරම් ඒ වැඩේ සාර්ථක වුණේ නැහැ.

එක් අවස්ථාවක රතු පාට ෆෙරාරි කාර් එකකින් බහින පුද්ගලයෙක්ව ක්‍රිස් දැක්කා. ක්‍රිස් ඔහුගෙන් ඇහුවා “මට ඔබෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. ඔබ මොනවා ද කරන්නේ? ඔබ කොහොම ද ඒක කරන්නේ?” කියලා. සතුටෙන් හිනා වුණ ඒ පුද්ගලයා ඔහු කොටස් තැරැව්කරුවෙක් බවත් ඉලක්කම් ගැන හොඳ දැනුමක් තිබෙනවා නම් සහ මිනිස්සු එක්ක හොඳින් වැඩ කරන්න පුළුවන් නම් ක්‍රිස්ටත් ඒ රැකියාව කරන්න පුළුවන් බවත් කිව්වා. ක්‍රිස්ට ජීවිතේ වෙනසක් කරන්න ඕන කියලා හිතුණ මොහොතක් වුණා ඒක. එතැනින් ගිය හැමෝම සතුටෙන් යන එන හැටි බලන් හිටිය ක්‍රිස් හිතුවා “මේ හැමෝම සතුටෙන් ඉන්නේ, ඇයි මට ඒ වගේ ඉන්න බැරි” කියලා.

සතුටෙන් ඉන්න ක්‍රමයක් හෙව්වත් ක්‍රිස්ට මාස කිහිපයකින් ගෙවල් කුලී ගෙවාගන්නවත් බැරි වුණා. තිබුණ ආර්ථික ප්‍රශ්න එක්ක ක්‍රිස්ගේ බිරිඳ රැකියා ස්ථානයේ සේවා මුර 2ක් කළා ගෙවල් කුලිය ගෙවාගන්න සහ එදිනෙදා වියදම් පියවගන්න. අවසානයේ මේ ප්‍රශ්න නිසා පීඩනය දරා ගන්න බැරි තැන බිරිඳ ක්‍රිස්ගෙන් වෙන්වෙලා නිව්යෝක්වලට යනවා අලුත් රැකියාවකට. ක්‍රිස්ට දරුවා අවශ්‍යයි කිව්ව නිසාත්, ක්‍රිස් කෙසේ හෝ දරුවාව හොඳින් බලා ගන්නා බව දන්නා නිසාත් ඇය දරුවාව ක්‍රිස්ට භාර දීලා ක්‍රිස්ව අත්හැර ගියා.

ක්‍රිස් Dean Witter කියන සමාගමේ සීමාවාසික පුහුණුව සඳහා අවස්ථාව උදා කරගන්නේ තමන්ගේ ජීවිතේ සතුට හොයාගෙන යන අධිෂ්ඨානයෙන්. පුහුණුව සඳහා 20 දෙනෙකු තෝරාගෙන මාස 6ක පුහුණුව අවසානයේ ඒ අතරින් දක්ෂම පුද්ගලයාව තමයි මේ සමාගමේ රැකියාවට බඳවා ගන්නේ. බිරිඳත් නැතිව දරුවා බලාගන්න ක්‍රිස් මේ පුහුණුව ගැන බලාපොරොත්තු තියාගත්තත් ඔහු දැනගන්නවා මේ සඳහා ගෙවීමක් කරන්නේ නැති බව. කෙසේ හෝ ඔහු හැලහැප්පීම් ගණනාවකට මුහුණ දෙමින් පුහුණුවට කරගෙන ගියා.

ඔහුට ගෙවල් කුලී ගෙවාගන්න නොහැකි වීම නිසා ඔහුට ඉන්න තැනක් නැතිව ගියා. සමහර දවස්වලට උදේ වරුවේ පුහුණුවට සම්බන්ධවෙලා, හවසට ඔහු පුතාවත් රැගෙන යනවා රෑට නිදාගන්න තැනක් හොයාගෙන. එක් දිනක් පුතාත් එක්ක පොදු වැසිකිළියක පවා ක්‍රිස් නිදාගන්නවා. මේ අතර කිහිප වාරයක් ක්‍රිස්ගේ ස්කෑනර් යන්ත්‍ර විවිධ පුද්ගලයන් විසින් සොරකම් කරනවා. ක්‍රිස් පුහුණුවට සම්බන්ධ වෙන අතරේ ස්කෑනර් යන්ත්‍ර විකුණන්නත් මහන්සි වෙනවා. මොකද ඔහුට පුහුණුව සඳහා වැටුපක් ලැබෙන්නෙ නැති නිසා. ඔහුගේ පුහුණුකරු පවා ඔහුගෙන් කෝපි ගෙන්න ගැනීම වගේ වැඩ ගන්නවා පුහුණුව අතරතුරදි. ක්‍රිස් මේ හැමදේම දරාගෙන ස්කෑනර් යන්ත්‍ර විකුණමින් තමන්ටත්, පුතාටත් අවශ්‍ය වියදම් සොයාගනිද්දි ඇමරිකානු බදු ක්‍රමය නිසා ඔහු කබලෙන් ලිපට වැටෙනවා. ඔහු සතු මුදල් බදු ලෙස කපා ගැනීම නිසා ඔහු නැවතත් ලොකු අමාරුවක වැටෙනවා.

ක්‍රිස්ගේ පුතා බාස්කට් බෝල් ක්‍රීඩාවට ගොඩක් ප්‍රිය කළා. දවසක් බාස්කට් බෝල් පුහුණුවේ යෙදුණ පුතාට ක්‍රිස් මෙහෙම කිව්වා, “කවදාවත්, කාටවත් කියන්න ඉඩ දෙන්න එපා ඔයාට දෙයක් කරන්න බෑ කියන එක. අඩු තරමේ මට පවා ඔයාට එහෙම කියන්න දෙන්න එපා. ඔයාට හීනයක් තියෙනවා නම් ඔයා ඒ හීනේ ලුහුබඳින්න ඕන. සමහර මිනිස්සුන්ට දෙයක් කරගන්න බෑ. එයාලා කියයි ඔයාටත් බෑ කියලා. ඔයාට යමක් ඕන නම් ඒක ලබාගන්න උත්සහ ගන්න.”

රැකියාව ලැබෙයි ද, නොලැබෙයි ද නොදන්නා, වැටුපක්වත් නොලැබුණ මාස හයක පුහුණුවක් දහසක් බාධක මැද සාර්ථකව සම්පූර්ණ කරන්න ක්‍රිස්ට හැකි වුණා. ක්‍රිස්ට ඒ ආයතනයේ රැකියාව ලැබුණා. අද වෙනකොට ක්‍රිස් ඩොලර් මිලියන ගණනක් උපයන දැවැන්ත චරිතයක්.

Happiness එහෙමත් නැත්නම් සතුට, මේක අපි විසින්ම නිර්මාණය කරගන්න ඕන දෙයක් මිස කවුරුවත් අපට නිර්මාණය කර දෙන දෙයක් නෙමෙයි. මතකද චිත්‍රපටයේ මුල් අවස්ථාවක ක්‍රිස්ගේ පුතාගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ Happiness කියන වචනෙ අකුරක් වරද්දලා තියෙනව දැකලා ක්‍රිස් ඒක නිවැරදි කරන්න කිව්වා. ඉතින් අවසානයේ ක්‍රිස් තමන්ගේ ජීවිතය ඇතුළේ ඒ වචනය නිවැරදි කළා. තමන්ගේ සතුට තමා විසින්ම නිර්මාණය කරගත්තා.

+1
0
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?