වියැකී යන අවුරුදු ජන ක්‍රීඩා

viyakee yana awurudhu jana kridha

අද වෙද්දී අවුරුද්දට ජන ක්‍රීඩා වැඩිය දකින්න නැති තරම්. වියැකී යන මේ අවුරුදු ජන ක්‍රීඩා අතරට ඔළිඳ කෙළිය, එළුවන් කෑම, මී කැඩීම, මේවර කෙළිය, පංච දැමීම, ඔංචිලි වාරම්, ස්වර්ණමාලය, කවි කෙළිය, ඔත්තේ ඉරට්ටේ ගැහීම, නෙරංචි කෙළිය, රබන් කෙළිය, දිය කෙළිය, බඹර කෙළිය, පනා හැංගීම වැනි ජන ක්‍රීඩා බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ කාන්තාවන් මූලික කර ගනිමින්.

ඇත් පොර, ​ගොං පොර, අංගම් පොර, මල්ලව පොර, පොරපොල් කෙළිය, අං කෙළිය, බහු කෙළිය, තට්ටු පැනීම, ගුඩු ගැසීම, ලුණු පැනීම, තිරික්කල් රේස්, චක්ගුඩු ගැසීම වැනි ක්‍රීඩා පිරිමින්ගේ ශක්තිය හා වේගවත් බව උරගා බලන ක්‍රීඩා ලෙසින් සැලකුවා.   

මීට අමතරව අතීතයේ තිබූ දැනට දක්නට නැති ක්‍රීඩා කිහිපයක් පිළිබඳ නාමික තොරතුරු පමණක් තිබේ. ඒවා අතර ඇඹරුන් කෙළිය, ගල් කෙළිය, පොල්කුර කෙළිය, හත් දිවියන් කෙළිය, හේවකම් කෙළිය, පෙරළිකොටුව, කොටි කෙළිය, පුහුලු මුතු, වලක් පුස්ස, කොටු බැන්දුම, දරමුතු, පල්ලන් කුලි, චෝරු, චතුරංග, පාඩා කෙළිය, ආඬි කෙළිය, අරසදි කෙළිය ආදී නම් දක්නට ලැබෙයි. නමුත් මේවා ගැන වැඩි විස්තරයක් නැත. මේ ජන ක්‍රීඩා බොහෝමයක් කණ්ඩායම් වශයෙන් සිදු කරන ඒවා වන අතර මෙරට ඇති බොහෝ ජන ක්‍රීඩා හා බැඳුණු ඉතිහාස කතාවක් ද තිබේ. 

පංච කෙළිය

දෙදෙනෙකුට හෝ කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැකි මෙහි ක්‍රීඩකයන් ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතුයි. පංච ලෑල්ලේ ක්‍රීඩාව ආරම්භ කිරීමට පංචයක් හෙවත් ඔණ්ඩුවක් ලැබිය යුතුය. ඔණ්ඩු යනු බෙල්ලන් එකෙක් උඩු කුරුව පිහිටීමයි. සියල්ලම උඩු කුරුව පෙරළීම සිරිමලයි. එවිට ක්‍රීඩකයාට කිසිදු අය ගණනක් නොලැබේ. පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වයි. ජලයෙන් ඉත්තන් ගොඩ වෙන්නට නම් ඔණ්ඩුවක් ලැබිය යුතුය. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට හෝ ක්‍රීඩකයාට ජය ලැබෙයි. අදටත් ගැමියන් විශ්වාස කරන්නේ දේව සංකල්පයක් වූ පත්නිනි දේවියගේ ආශිර්වාදය පංච කෙළියෙන් තමන්ට ලැබෙන බවයි.

ඔළිඳ කෙළිය

මෙය ආරම්භයේ සිට අවසානය දක්වාම අත්වැල් ගායනය සහිතව සිදු කරන්නක්. කාන්තාවන් දෙදෙනෙකු අතර තරඟය පැවැත්වෙයි. ඔළිඳ පුවරුව යනුවෙන් හඳුන්වන ලෑල්ලක් භාවිත වන අතර ඔළිඳ ලෑල්ලට මුතු පුවරුව යන නම ද ඔළිඳ කොළොම්බුව යන නම ද භාවිත වේ. ඔළිඳ උපත සිදුව ඇත්තේ බංගලි දේශයේ යැයි මේ ගායනාවල පැහැදිලිව දක්නට ලැබෙයි. මෙහි භාවිතා වෙන්නේ ගණිත ක්‍රමයක්. ඔළිඳ කොළොම්බුවේ හෙවත් ලෑල්ලේ වළවල් 14 ක් ඇති අතර එක වළකට ඇට හතර බැගින් ඇට 56 ක් ඇත.

කජු ක්‍රීඩාව

මෙය බෙහෙවින් ජනප්‍රියව ඇත්තේ දරුවන් අතරයි. කජු ඇට හයක් ක්‍රීඩාවට යොදා ගනී. කජු සියල්ල දෝතින් ගෙන උඩ දමන අතර බිම වැටුණු කජු ඇට අතර ඇඟිල්ලකින් ඉරක් ඇඳ කජු ගෙඩි දෙකෙහි නොගෑවෙන ලෙස ඇඟිලි යැවූ පසු එම කජු ක්‍රීඩා කළ අයට අයිති වන අතර වැඩිම කජු ගෙඩි ගණනක් ගත් අය තරගෙයන් ජය ලබයි. 

චක්ගුඩු පැනීම

චක්ගුඩු පැනීම කියන්නේ අස්වැන්න නෙළා ගත් වෙල් යායේ හෝ කමතේ සිදු වෙන ක්‍රීඩාවකටයි. සීමාව ලකුණු කර කොටස් දෙකකට බෙදී ක්‍රීඩාව සිදු කරයි. එක් පිලක ක්‍රීඩකයෝ ගුඩු ගුඩු කියමින් අනෙක් පිලේ සීමාවට ගොස් ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුවගෙන එයි. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කියමින් තම පැත්තට යා ගත නොහැකි වූ ක්‍රීඩකයා ද පරාජය වේ. ගුඩු කියමින් යන්නා හඳුන්වන්නේ ගුඩ්ඩා නමිනි.   

අතක පතක ක්‍රීඩාව

මේ ක්‍රීඩාව දරුවන් අතර කෙරෙන්නක්. බිම වාඩි වී අත් බිම තබාගෙන සිටිය යුතු අතර නායකයා විසින් අත්ලට තට්ටු කරමින් වැකියක් කියන අතර මේ වැකිය අවසන් වෙන විට තට්ටු කරන අත ඇත්තා ක්‍රීඩාවෙන් ඉවත් වෙයි. අවසානයේ ඉතිරි වෙන ක්‍රීඩකයාට ‘අතව් කිතව් පහුරු කිතව් අපි දිනුවෝ’ කියමින් අත ඉවතට ගන්නා තුරු පහර දෙයි.   

පනා හැංගීම

ඇතැම් පෙදෙස්වල මෙය හඳුන්වන්නේ ලේන්සු හැංගීම, හවරි හැංගීම යනුවෙන්. කිසියම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට වෙහෙස වීම තමයි මෙයින් සිදු කරන්නේ. මේ පනා හැංගීම සිදු කරන අතර කාන්තාවෝ ගයමින් විනෝද වෙයි. 

මේ ලෙසින් අතීතයේ බොහෝ ජන ක්‍රීඩා තිබූ අතර අද වන විට විවිධ හේතූන් නිසා සමාජයෙන් ඒවා ක්‍රමක් ක්‍රමයෙන් ඉවත් වී තිබේ.

+1
3
+1
5
+1
3
+1
3
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?