History of TV Commercials

History of TV Commercials

රූපවාහිනී වෙළඳ දැන්වීම් කියලා කියන්නේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි අංගයක්. අපි රූපවාහිනිය නරඹද්දී ඇතැම් වෙලාවට වෙළඳ දැන්වීම් අපට හිරිහැරයක් වූවත් අපි නොදන්නවා වුණාට ඒවා අපේ මනසට කරන්නේ ලොකු බලපෑමක්. මේ රූපවාහිනී වෙළඳ දැන්වීම්වල ඉතිහාසය සොයා ගෙන යද්දී රසවත් කතන්දර බොහෝමයක් තියෙනවා. රූපවාහිනී වෙළඳ දැන්වීම් අපිට හිසරදයක් වූවත් අපි කුඩා කාලේ සිට අලුත් කෑම ජාති, අලුත් විලාසිතා, අලුත් අලුත් උපකරණ වගේ භාණ්ඩ හා සේවා ගැන දැනගන්නේ මේ රූපවාහිනී වෙළඳ දැන්වීම් මඟින්.  

1941 දී ලොව ප්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම විකාශය වුණා. බුලෝවා වොච් සමාගම සඳහා තමයි එය විකාශය වුණේ. මෙම දැන්වීමේ දිග තත්පර 10ක් පමණක් වූ අතර එය නිර්මාණය කිරීමට ඩොලර් 4ත් 9ත් අතර මුදලක් වැය වී තිබේ. එය නිව් යෝර්ක් හි WNBT නම් නාලිකාවක විකාශය වූ අතර 4,000ක් පමණ පිරිසක් එය නරඹා ඇත. අපි දැන් බලමු යුගයෙන් යුගයට රූපවාහිනී වෙළඳ දැන්වීම් විකාශනය වුණු ආකාරය ගැන.

1950

මේ යුගයේ Colgate, Mattel, සහ Coca-Cola වැනි විශාල සමාගම් අනුග්‍රහය දක්වන වැඩසටහන් ජනප්‍රිය වුණා. මෙම වෙළඳ නාම වැඩසටහන් අතරතුර විකාශය වුණු අතර ඒ නිසාම එම සන්නාමයන් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වුණා.

1952

එක්සත් ජනපදයේ 34 වැනි ජනාධිපති Dwight D. Eisenhowerගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රූපවාහිනී වෙළඳ දැන්වීම් යොදාගත්තා. වෝල්ට් ඩිස්නිගේ සොහොයුරා වන රෝයි “I Like Ike” යන සටන් පාඨය ගීතයක් බවට පත් කළ නිසා අයිසන්හවර්ට මැතිවරණය ජයග්‍රහණය කිරීමට පවා එය හේතුවක් වුණා.

මේ කාලයේදීම Mr.Potato Head රූපවාහිනී වෙළඳ දැන්වීමකින් ප්‍රවර්ධනය කළ පළමු සෙල්ලම් බඩුවයි. පළමු වසර තුළ පමණක් මිලියන 2 කට ආසන්න නිෂ්පාදන ප්‍රමාණයක් මේ වෙළඳ දැන්වීම ප්‍රචාරණය හරහා විකිණුනා.

1960 - 1965

RCA නම් සමාගමක් වර්ණ රූපවාහිනිය සඳහා පළමු වෙළඳ දැන්වීම නිකුත් කළා. ඒ කාලයේ සෑම නිවසකම වර්ණ රූපවාහිනියක් නොතිබූ නිසා මේ රූපවාහිනී වෙළඳ දැන්වීමත් සමඟින් මිලියන 2 කට වැඩි පිරිසක් ඔවුන්ගේ මේ වර්ණයන් සහිත වෙළඳ දැන්වීම් නරඹන්න අතිශය කැමැත්තක් දැක්වූවා.

1971

මහජන සෞඛ්‍ය දුම්වැටි පනත මඟින් රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ දුම්වැටි දැන්වීම් තහනම් කරා. ඒ නිසා දුම්වැටි සමාගම් ලොකු අර්බුදයකට පත් වුණා. වර්ජිනියා ස්ලිම් විසින් තමයි අවසන් වරට දුම්වැටියක් ප්‍රචාරය කරේ. ඒ “The Tonight Show” අතරතුරදියි.

1979

චීනය ෂෙන්ගුයි ටොනික් වයින් සඳහා සිය පළමු වෙළඳ දැන්වීම ආරම්භ කළා. එය තත්පර 90 ක් දිග වූ අතර බොහෝ දෙනෙක් මින් පෙර කිසි දිනෙක වයින් සඳහා වෙළඳ දැන්වීම් දැක නොතිබූ නිසා එය ආන්දෝලනාත්මක වෙළඳ දැන්වීමක් බවට පත් වුණා.

1982

“Nike” වෙළඳ සන්නාමය සඳහා නිකුත් වූ පළමු වෙළඳ දැන්වීමෙන්ම ඔවුන් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. එහි Chariots of Fire තේමා ගීතය තමයි ඇතුළත් වුණේ.

1984

මේ වසරේදී Apple සමාගම ඔවුන්ගේ පළමු වෙළඳ දැන්වීම නිකුත් කරා. මෙම දැන්වීම විකාශය වෙලා මාස තුනකින් පසුව ඩොලර් මිලියන 155ක වටිනාකමකින් යුත්  Apple සමාගමේ Macintosh පරිගණක විකිණුනා. එය ඔවුන්ට විශාල ලාභයක් වුණා.

1997

රූපවාහිනී වෙළඳ දැන්වීමක් අභ්‍යවකාශයේ රූගත කළ බව ඔයා අහලා තියෙනවද? අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම වාණිජ රූගත කිරීම වූයේ Tnuva Milk නම් ඊශ්‍රායල පානය සඳහායි. මෙම දැන්වීම ගිනස් ලෝක වාර්තා පොතට පවා ඇතුළත් වුණා.

2006

මෙම කාලයේදී වැඩි වශයෙන් රූපලාවන්‍ය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් දැක් වූවා. Dove රූපලාවන්‍ය නිෂ්පාදන ගැන තමයි මේ කාලයේදී වැඩි වශයෙන් රූපලාවන්‍ය නිෂ්පාදන අතුරින් වෙළඳ දැන්වීම් ලෙසින් විකාශනය වුණේ.

2008

Black Eyed Peas සංගීත කණ්ඩායම සමඟ එක්ව බැරැක් ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා “Yes I Can” නමින් සංගීත වීඩියෝවක් එක්ක වෙළඳ දැන්වීමක් නිර්මාණය කරා. මෙය දේශපාලන වෙළඳ දැන්වීම්වල විප්ලවීය වෙනසක් ඇති කරන්නට සමත් වුණා.

2010 න් පසුව සමාජ මාධ්‍යයවල වර්ධනයත් සමඟ එතෙක් ලොව පුරා පැවති රූපවාහිනියට ප්‍රමුඛ වූ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සමාජ මාධ්‍යයටත් විවෘත වුණා. මේ නිසා සෑම වර්ගයකටම අයත් වෙළඳ දැන්වීම් විකාශනය වන්නට පටන් ගත්තා. ගොඩක් වෙලාවට අපේ රටේ නම් ප්‍රවෘත්ති විකාශනය වන වෙලාව වගේම රාත්‍රී 7.30-9.30 කාලය තුළ බොහෝ වෙළඳ දැන්වීම් විකාශය වෙනවා. එම කාලය තුළ විකාශය වෙන වෙළඳ දැන්වීම් සඳහා රූපවාහිනී ආයතන අධික මුදලක් අය කරනවා.

මෙන්ම මේ විදිහට තමයි ලෝකයේ රූපවාහිනී වෙළඳ දැන්වීම් කාලයෙන් කාලයට විකාශනය වුණේ.

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?