Kamikaze බලපෑමට හසු වූ Crystal Pepsi

Kamikaze balapamata hasu wu Crystal Pepsi

1992 වසරේදී Pepsi සමාගම ප්‍රථම වරට Crystal Pepsi නම් අවර්ණ පැහැති Cola නිෂ්පාදනයක් වෙළඳ පොළට නිකුත් කළ අතර එය වේගයෙන් ඇමරිකාව තුළ මාස කිහිපයක් ඇතුළත දී ජනප්‍රිය වීමට පටන් ගත්තා. මෙලෙස තම තරඟකාරී සමාගම අලුත් නිෂ්පාදනයක් සමඟින් වෙළඳ පොළ ආක්‍රමණය කරන බව දැක්ක Coca-Cola සමාගමත් Crystal Pepsi වලට සමාන වෙනත් නිෂ්පාදනයක් TaB Clear නමින් 1992 වසරේදීම නිකුත් කරන්නට කටයුතු කළා.

මේ නිෂ්පාදන දෙකම දිහා බලනවිට Crystal Pepsi නිෂ්පාදනය වඩාත් රසවත් වූ නමුත් Coca-Cola සමාගම නිකුත් කළ TaB Clear නිෂ්පාදනයට තිබුණේ කට තිත්ත කරවන අප්‍රසන්න රසයක් නිසාම ඉතාම ඉක්මනින්ම ජනතාව එය ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. මේ නිසා Pepsi සමාගම හිතුවේ Coca-Cola සමාගමෙන් තමන්ට හිතපු තරම් බලපෑමක් TaB Clear නිෂ්පාදනය නිසා ඇති වෙන එකක් නෑ කියලයි. ඒ අවතක්සේරුව තමයි Pepsi සමාගමට වුණ ලොකුම වැරැද්ද වුණේ.

Coca-Cola සමාගම අවතක්සේරුවට ලක් කරපු Pepsi සමාගම 1992 දී නිකුත් කරන්න පටන්ගෙන පාරිභෝගිකයන් අතර ඉතාමත් හොඳින් ජනප්‍රිය වූ Crystal Pepsi නිෂ්පාදනය වසර 2ක් ඇතුළතදී එනම් 1994 වෙනකොට නවත්වන්න සිදු වෙනවා. Coca-Cola සමාගමේ තිත්ත රස වුණු, හැමෝම අප්‍රිය කරපු TaB Clear නිෂ්පාදනයට එහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා හැමෝටම පුදුමයක් වුණා. ඒක වුණේ මෙහෙමයි.

Crystal Pepsi ජනප්‍රිය වෙනවා දැක්ක Coca-Cola සමාගම මුලින්ම කළේ කපටි විදිහට TaB Clear නමින් Coca-Cola බෝතලයක Crystal Pepsi පානය හා සමාන සීනි හෝ වෙනත් රසයකින් තොර පානයක් හදලා වෙළඳපොළට නිකුත් කරපු එක. ඒ වගේම TaB Clear බෝතල් වෙළද සැල්වල තැබුවෙත් Crystal Pepsi බෝතල් අසලමයි.

TaB Clear නිෂ්පාදන මේ විදිහට හිතාමතාම ස්ථානගත කිරීම නිසා පාරිභෝගිකයන් නොදැනුවත්වම හිතන්න පෙළඹුනේ වෙනදා වගේම Pepsi රසත් Coca-Cola රසත් එක හා සමාන වන නිසා මේ නිෂ්පාදන දෙකේම රසත් එක සමාන වෙනවා ඇති කියලයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට TaB Clear රස බලපු අයට ඉක්මනින්ම TaB Clear එපා වුණා. Crystal Pepsi වල රසත් TaB Clear වගේම කියලා හිතලා නිෂ්පාදන දෙකේම අලෙවිය ඉතාම කෙටි කාලයක් තුළ පහත වැටෙන්න පටන් ගත්තා. ඒ නිසාම Pepsi සමාගම Crystal Pepsi 1994 දී නවතා දමන අතර Coca-Cola සමාගමත් TaB Clear නිපදවීම ඒත් සමඟින් නවත්වා දමනවා. Pepsi හි ප්‍රගතියට බාධා කිරීම සඳහා Coca-Cola සමාගම භාවිතා කළ මේ උපක්‍රමය පසුව අලෙවිකරණයේදී Kamikaze බලපෑම නමින් හඳුන්වන්න පටන් ගන්නවා.

දැන් අපි බලමු Kamikaze කියන වචනයේ ඉතිහාසය දිහා. “kamikaze Effect” යන පදය භාවිතා වන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසාන අදියරේදී ජපන්නු භාවිතා කරන ලද මරාගෙන මැරෙන යුද උපක්‍රමය හැඳින්වීමටයි.

Kamikaze වචනයේ තේරුම වන්නේ ජපන් භාෂාවෙන් “දිව්‍ය සුළඟ” යන්නයි. මිත්‍ර පාක්ෂික නාවික යාත්‍රාවලට එරෙහිව ජපන් ගුවන් නියමුවන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම හැඳින්වීමට මෙම කමිකාසේ වචනය භාවිතා කරා. තරුණ අධිෂ්ඨානශීලී Kamikaze ගුවන් නියමුවන් පුපුරන ද්‍රව්‍ය පිරවූ ගුවන් යානා සෘජුවම සතුරු ඉලක්ක වෙතට පියාසර කිරීමට පුහුණු කරන ලද්දන් වූ අතර එහිදී තම ජීවිත පූජා කරමින් නිරන්තරයෙන් මිත්‍ර හමුදාවන්ගේ නාවික බලඇණිවලට මරාන්තික හානි කරමින් ලොකු බලපෑමක් මිත්‍ර පිළට ඇති කරන්නට කටයුතු කළා.

1945 අප්‍රේල් සිට ජූනි දක්වා සිදු වූ ඔකිනාවා සටනේදී kamikaze උපක්‍රමය වැඩිපුරම භාවිතා වූ සටනක් වූ අතර මෙහිදී යුද බිමේ සොල්දාදුවන්ට කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ලොකු බලපෑමක් වගේම මිනිස් ජිවීත සහ දේපළ විශාල වශයෙන් අහිමි වීමත් සිදුවුණා.

ඉතින් මේ හේතූන් නිසාම තමයි මේ බලපෑමට kamikaze යන පදය යෙදුණේ. Crystal Pepsi පානයට TaB Clear පානය නිසා මෙවැනි බලපෑමකට හසු වෙන්නට සිදු වුණා වගේම මේකත් එක්තරා ආකාරයකට Coca-Cola සමාගම භාවිතා කළ Marketing Trick එකක් කිව්වොත් වඩා නිවැරදියි.

+1
0
+1
1
+1
1
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?