KitKat වාසනාවේ සංකේතයක් වුණ හැටි

KitKat wasanawe sankethayak una hati

ලොව පුරා බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳගත් KitKat, ‘Chocolate Crisp’ යන නමින් මුල්වරට ලොවට හඳුන්වා දුන්නේ 1935 වර්ෂයේදී එක්සත් රාජධානියේදීයි. වර්තමානයේදීත් ඉතා ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් වන KitKat ලොව පුරා රටවල් ගණනාවක ජනතාවගේ ආදරය දිනාගෙන තිබෙනවා. නමුත් ජපාන වෙළඳ පොළට KitKat චොකලට් හඳුන්වා දුන් අවස්ථාවේ එය ජපාන ජාතිකයන් අතර එතරම් ජනප්‍රියත්වයකට පත් වුණේ නැහැ. සම්ප්‍රදායික ආහාර රටාවකට හුරුවූ ජපානයේ ආහාර වෙළඳ පොළට වෙනත් රටක නිෂ්පාදිත ආහාර වර්ග හඳුන්වා දෙන එක තරමක් අසීරු කාර්යක් බවට පත්වෙලා තිබුණා.

නමුත් කාලයත් සමග KitKat ජපානය තුළ ජනප්‍රියත්වයට පත් කරන්න Nestle සමාගමට හැකි වුණා. KitKat කියන්නේ වාසනාවේ සංකේතයක් බවට ජපානය තුළ සලකනවා. හරියටම කියනවා නම් අලෙවිකරණයේ උපාය මාර්ගයක් වන ‘Adaptation strategy’ එක යොදාගෙන KitKat අලෙවිය ජපානය තුළ ඉහළ නංවන්න Nestle සමාගම කටයුතු කළා. සරලව පැහැදිලි කළොත් මේ උපාය මාර්ගයේදී කරන්නේ අදාළ නිෂ්පාදනය ඒ ඒ රටේ හෝ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ සංස්කෘතිය, රුචි අරුචිකම් අනුව ඊට අනුගත වන ආකාරයට නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කිරීමයි.

ජපානයේ KitKat අලෙවිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටි Nestle සමාගමට හරි අපූරු දෙයක් දැනගන්න ලැබුණා. ඒ තමයි එරට දරුවන්ට විභාග තිබෙන කාලයන්වල KitKat අලෙවිය තරමක් ඉහළ යන බව. මේකට හේතුව වෙලා තිබුණේ KitKat කියන වචනය ජපන් භාෂාවේ Kitto Katsu කියන වචනයට සමාන වීම. Kitto Katsu කියන්නේ ජපාන වැසියන් වාසනාව සම්බන්ධයෙන් භාවිත කරන වචනයක්. එහි අර්ථය ‘අනිවාර්යෙන් ඔයාට ජයගන්න පුළුවන්’ කියන එක.

ජපන් දරුවන් අතර KitKat අලෙවිය ඉහළ අගයක් ගන්නා නිසා දරුවන් ඉලක්ක කරගෙන වෙළඳ ප්‍රචාරණ කටයුතු කරන්න Nestle සමාගම තීරණය කළා. KitKat වෙළඳ දැන්වීම්වලදී ‘Kitto sakura saku yo!’ යන වාක්‍ය ඛණ්ඩය ද භාවිතයට ගැනුණා. ඉන් අදහස් වන්නේ ‘ඔබේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා!’ කියන එක. ඊට අමතරව විභාග මධ්‍යස්ථාන අසල KitKat අලෙවි කිරීම ද දිරිගැන්වුණා. ඒ වගේම ජපන් සංස්කෘතිය, ජපන් වැසියන්ගේ සම්ප්‍රදායන් අධ්‍යයනය කරන්නටත් කණ්ඩායමක් සමාගම විසින් යෙදෙව්වා.

ජපානයේ තිබෙනවා තෑගි දීමේ සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය මුල් කරගෙන KitKat ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගයක් ද Nestle සමාගම විසින් දියත් කළා. විභාගයකට මුහුණ දීමට සිටින දරුවන්ට KitKat එකක් තෑග්ගක් ලෙස දීම ජපානයේ භාවිතාවක් බවට කාලයත් සමග පත් වුණා. KitKat එක වාසනාවේ සංකේතයක් බව විශ්වාස කරන ජපාන සිසුන් සමහර අවස්ථාවල ඔවුන්ට ලැබෙන KitKat එක ආහාරයට නොගෙන විභාගය අවසන් වන තෙක් ළඟ තබා ගන්න අවස්ථා ද තිබෙනවා.

2009 වර්ෂයේදී Nestle සමාගම ජපානයේ තැපැල් කාර්යාල ආශ්‍රය කරගෙන KitKat අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළා. විශේෂ KitKat පැකේජයක් මෙහිදී යොදාගත් අතර තමන් කැමති සුබ පැතුමක් ලියා යහළුවන්ට, පවුලේ අයට මේ KitKat පැකේජ තැපැල් කරන්න අවස්ථාව මෙහිදී ජපන් වැසියන්ට හිමි වුණා. මෙම ප්‍රවර්ධන කටයුත්තේදී සිතුවටත් වඩා වේගයෙන් මාසයක් ඇතුළතදී සියලු KitKat පැකේජ අලෙවි වුණා. මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් Nestle සමාගමට අලෙවිකරණ සම්මාන පවා දිනාගන්න හැකි වුණා.

සම්ප්‍රදායික ආහාර රටාවකට හුරු වුණ ජපන් වැසියන් ප්‍රිය කරන ආහාරපානවල රසයන්ගෙන් යුත් KitKat නිෂ්පාදන ද ජපාන වෙළඳ පොළට නිකුත් කරන්න Nestle සමාගම කටයුතු කළා. ග්‍රීන් ටී පානයට ප්‍රිය කරන ජපාන වැසියන්ට එම රසයෙන් යුත් KitKat හඳුන්වා දුන් අතර ඒවා ඔවුන් අතර ඉතා ජනප්‍රිය වුණා. මේ වන විට ජපානයට ආවේණික රසයන් සමග රසයන් 300කගෙන් පමණ යුත් KitKat වර්ග ජපාන වෙළඳ පොළෙහි තිබෙනවා.

+1
1
+1
4
+1
1
+1
1
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?