විනාඩියකින් ජීවිතයම වෙනස් කරන Technique එක

vinadiyakin jeewithayama wenas karana Technique eka

මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න, හීන දැකපු විදියේ ජීවිතයක් ගත කරන්න ඔයා ගොඩක් කැමති ඇති. ඒත් වැඩ කල් දාන එක, කම්මැලිකම, වෙලාවක් නැහැ කියලා හිතෙන සිතුවිල්ල ඔයාගේ දියුණුව වළක්වන බාධක විදියට ක්‍රියා කරන බව ඔයාටම දැනිලා ඇති. මේ ඒකාකාරී රටාවෙන් මිදිලා ඔයාගේ දියුණුව ළඟා කරගන්න Kaizen ක්‍රමවේදය යොදාගන්න පුළුවන්. Kaizen යන්නෙහි සරල අර්ථය වන්නේ අඛණ්ඩව වැඩිදියුණු වීම කියන එකයි. එහෙම නැත්නම් ඒක තව විදියකට අර්ථ දක්වනවා බුද්ධිමත්ව සිදු කරන වෙනස කියලා. ජපන් ක්‍රමවේදයක් වූ මෙය ඉතාම ඵලදායි ක්‍රමවේදයක් වන අතර Kaizen හි One Minute Principle එහෙම නැත්නම් මිනිත්තුවේ මූලධර්මය ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ.

මේ මොහොත වෙනකොට ඔයාට කරන්න ඕන වුණත් කරන්න වුණේ නැති, ඒත් පටන් ගන්න ඕන කියලා හිතෙන වැඩ අනිවාර්යයෙන් ඇති. සමහර විට ඔයා කාලෙකින් පොතක්, පත්තරයක් කියවලා නැතුව ඇති. ඒත් ඉස්සර නිතර පොත්, පත්තර කියවන්න ඇති. එහෙම නැත්නම් ඔයාට ව්‍යායාම කරන්න ඕනකම ඇති ඒත් ඔයා ඒ වැඩේ කල් දමමින් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවක් ඉගෙන ගන්න ඕන වුණත් මේ වෙනකම් ඔයා ඒක පටන් අරන් නැති වෙන්න පුළුවන්. ඒත් අද ඉඳලම මේ පුරුද්ද වෙනස් කරගන්න ඔයාට පුළුවන්.

ඔයාට කරන්න ඕනකම තිබෙන නමුත් කරන්නෙ නැති වැඩ මොනවද කියලා One Minute Principle එකේදි මුලින්ම හඳුනාගන්න. මේකෙදි ඔයා ඒ හඳුනාගන්න වැඩ අතරින් ඉතාම අමාරු වැඩ නෙමෙයි තෝරගන්න ඕන. භාෂාවක් ඉගෙන ගැනීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, පොතක් කියවීම, ව්‍යායාම කිරීම වගේ තරමක් පහසුයි කියලා හිතෙන වැඩ තෝරාගන්න. උදාහරණයක් විදියට පොතක් කියවන එක ගනිමු. ඔයාට තියෙන්නේ මේ තෝරාගත්ත වැඩේ හැම දවසකම එක් විනාඩියක් කරන එක. ඔයාට විනාඩියක් ඇතුළත කියවන්න පුළුවන් ප්‍රමාණය හැම දවස ගාණේ, එකම වෙලාවකට කියවන එක තමයි කරන්න තියෙන්නේ. පොතක් කියවන්න හිතුණත් වෙලාව නෑ, බැහැ කියලා ඒක වෙලාවක් එනකම් කල් දැම්ම ඔයා හැමදාම විනාඩිය ගාණෙ පොත කියවන එක දිගටම කරගෙන යන්න.

එහෙම නැත්නම් ව්‍යායාම කරන එක හැමදාම කල් දානවා නම් විනාඩියක් ඇතුළත කරන්න පුළුවන් ව්‍යායාම පියවරක් හැම දවස ගාණෙම සුදුසු ලෙස කරන්න. ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕන කියලා හිතෙනවා නම් හෝ සිංහල භාෂාවම තවත් වැඩිදියුණු කරගන්න ඕන කියලා හිතෙනවා නම් ඊට අදාළව පොඩි දෙයක් විනාඩියක් ඇතුළත කරන්න. ඕන නම් ඔයාට පුළුවන් ඉංග්‍රීසි පොතක් හෝ පත්තරයක කොටසක් විනාඩියක කාලයක් ඇතුළත කියවලා ඔයාට අමාරු හෝ නොදන්න වචන කීපයක් ඉගෙන ගන්න. සාමාන්‍යයක් විදියට ගත්තොත් ඔයා දවසට අලුතෙන් වචන 5ක් ඉගෙන ගන්නවා නම් දවස් 30ක් ඇතුළත වචන 150ක් අලුතෙන් ඉගෙන ගන්නවා. ඔයා මුකුත්ම නොකර ඉන්නවාට වඩා විනාඩියක් ඒ වැඩේ කරන එක ඔයාගේ ජීවිතේ විශිෂ්ට පියවරක් වෙනවා.

මේ විදියට යනකොට විනාඩියකින් යම් වැඩක් සම්පූර්ණ කරන එක ඔයාගේ පුරුද්දක් වෙනවා. ඔයා ඒකට හුරු වෙනවා. ඒක වෙන්නේ වෙනදා කම්මැලිකමේ වැඩ කල් දැම්ම ඔයාට මේ One Minute Principle එක නිසා දැනෙන්න ගන්නවා ඔයාට යම් වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ඔයාට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වුණත් ඒකට ඔයා දුර්වල කෙනෙක් නම් ඔයා ඒ ගැන ඉගෙන නොගෙන ඉන්න එකෙන් ඔයා තවත් පරාජිත මානසිකත්වයකට වැටෙනවා. ඒකෙන් ඔයා වැඩක් සම්පූර්ණ කරගන්න නොහැකි බවින් ආතතියට පත් වෙන එකයි සිද්ධ වෙන්නේ. මේ ක්‍රමයේදී වෙන්නේ විනාඩියක කාලයක් අදාළ කාර්ය කරන නිසා ඔයාටම ධනාත්මක හැඟීමක් ඇති වෙනවා.

කාලයත් එක්ක ඔයා අදාළ කාර්ය සඳහා යොදන වෙලාව ක්‍රමයෙන් වැඩි කරන්න. ඔයාට පහසුයි කියලා දැනෙන විදිය තේරුම් අරගෙන විනාඩි 5, 15, 20, 30 වගේ කාලය වැඩි කරගන්න. මේ විදියට වැඩ කළාම ටිකෙන් ටික ඔයාගේ වැඩ කල් දාන පුරුද්ද සහ කම්මැලිකම නැති වෙන්න ගනීවි. ඒකත් එක්ක ඔයාගේ දියුණුව වෙනුවෙන් කරන්න ඕන අනෙකුත් වැඩ පවා කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් තැනට ඔයාගේ මනස වගේම ශරීරයත් සූදානම් වෙනවා.

මේ One Minute Principle එක සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ඵලදායී ක්‍රමවේදයක්. පුළුවන් නම් අදම ඔයාගේ දෛනික ජීවිතයට මේ මූලධර්මය එකතු කරගන්න.

+1
1
+1
6
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?