සමාජ මාධ්‍ය අලෙවිකරණ ආචාරධර්ම

ETHICS IN SM WEB COVER SINHALA

මිනිසුන්ගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම් පාලනය කරන මූලධර්ම විදියට අපිට ආචාරධර්ම කියන එක සරලව හඳුන්වන්න පුළුවන්. හොඳ, නරක හෝ හරි, වැරැද්ද තීරණය කරන ක්‍රමයක් විදියටත් ආචාරධර්ම හඳුන්වන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ගැන සැලකුවොත් අපිට ව්‍යාපාරයක විකිණුම් වැඩි කරගන්න, Followersලා වැඩි කරගෙන ව්‍යාපාරය වටා එක්වන පිරිස වැඩි කරගන්න වගේම තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්නත් සමාජ මාධ්‍ය වැදගත් වෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල සමාජ මාධ්‍ය ආචාරධර්ම නොසලකා හැරලා සමාජයට සිදු වන හානිය, ව්‍යාපාරයට සිදු වන හානිය ගැන නොසලකා ලේසි ක්‍රමවලින් අලෙවිකරණ අරමුණු දිනා ගන්න සමහර පුද්ගලයෝ උත්සහ කරනවා.

නිෂ්පාදනය, මිල ගණන්, අදාළ ව්‍යාපාරය ස්ථානගත කිරීම, ප්‍රවර්ධන කටයුතු, ප්‍රචාරණ කටයුතු වගේ අලෙවිකරණයට අදාළ ක්ෂේත්‍ර ගණනාවකදි ආචාරධර්ම අපට වැදගත් වෙනවා. සමාජ මාධ්‍ය තුළින් නිෂ්පාදන හා සේවා පිළිබඳව මිනිසුන්ට දැනුවත් කිරීමක් ලබා දෙන්න පුළුවන් නිසා ව්‍යාපාරිකයන්ගේ වගකීම තමයි තමන්ගේ ව්‍යාපාරයේ අනන්‍යතාව රැකගෙන සත්‍ය තොරතුරු පාරිභෝගිකයාට ලබා දීම.

සමාජ මාධ්‍යවල අපිට බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි බොහෝ අලෙවිකරුවන් තමන්ගේ නිෂ්පාදනයේ හෝ සේවාවේ මිල ගණන් විවෘතව ප්‍රකාශ නොකිරීම. ඒවායේ මිල ගණන් ගැන පාරිභෝගිකයන් දැනුවත් කිරීම සදාචාරාත්මක ක්‍රමවේදය වුවත් බොහෝ විට දකින්න ලැබෙන්නේ සමාජ මාධ්‍ය තුළ මිල ගණන් විමසන පුද්ගලයන්‍ට ‘Check inbox’ කියන පිළිතුර ලැබෙන බව කියලා මේ ලිපිය කියවන ඔයාගේ අවධානයට වුණත් ලක් වෙලා ඇති.

සමාජ මාධ්‍ය ආචාරධර්මවලට පටහැනිව සිදු කෙරෙන තවත් දෙයක් තමයි පුවත් සිරස්තල හෝ යූටියුබ් නාලිකාවල වීඩියෝ සඳහා යොදන මාතෘකා. බොහෝ වෙලාවට පුවතක සිරස්තලය හෝ යූටියුබ් නාලිකාවක තිබෙන වීඩියෝවකට යොදා ඇති මාතෘකාවෙන් කියවෙන දේ එම පුවතේ හෝ වීඩියෝවේ අන්තර්ගතයේ සඳහන් වෙන්නේවත් නැහැ. බලන පුද්ගලයාට එම පුවත හෝ වීඩියෝව බලන්න හිතෙන ආකාරයේ මාතෘකාවක් යොදලා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් අන්තර්ගතයේ සඳහන් කරන එක සදාචාරාත්මකයි කියලා ඔයා හිතනනව ද?

සමහර සෙවුම් යන්ත්‍ර (search engine) විසින් ඔයා පිවිසෙන වෙබ් අඩවිවල Cookies හරහා ඔයාගේ තොරතුරු ලබා ගන්න බව ඔයා දන්නවා. එලෙස ලබා ගන්න තොරතුරු ඔවුන්ගේ ඉදිරි අලෙවිකරණ කටයුතු සඳහා භාවිතයට ගැනීමට යොදා ගන්න අවස්ථා ද තිබෙනවා.

සමාජ මාධ්‍ය භාවිත කරමින් අලෙවිකරණයේ නියැළෙන්නන් ලෙස සමාජ මාධ්‍ය ආචාරධර්මවලට අනුව කටයුතු කිරීමේ වගකීමක් අලෙවිකරුවන් සතුව පවතිනවා. සමාජ මාධ්‍ය සමග වේගයෙන් ඉදිරියට යන ලෝකයේ අලෙවිකරණ කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමේදී ජාතිය, වයස, ලිංගිකත්වය හෝ ආගමික යන දිශානතීන් කෙරෙහි අපහාසාත්මක හෝ නොමඟ යවන සුලු තොරතුරු යොදා ගනිමින් එම කටයුතු කිරීම සදාචාරාත්මක නැහැ. සදාචාරාත්මක නොවන අලෙවිකරණ ක්‍රම භාවිතය ඔයාගේ ව්‍යාපාරික නාමයට විශාල හානියක් කරනවා.

තිරසර බව, පරිසරය සම්බන්ධ කාරණා, සමාජ වගකීම්, අවංක බව සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරන සන්නාමවලට මිනිස්සු බොහෝ විට කැමැත්තක් දක්වනවා.
 
මුදල් ගෙවා සිදු කරන Campaignවලදි අනුගමනය කළ යුතු ආචාරධර්ම

  • විනිවිදභාවය – යම් සන්නාමයක් තම භාණ්ඩ හෝ සේවා ගැන වඩාත් විවෘතව තොරතුරු ලබා දෙනවා නම් ගැනුම්කරුවන්ට එය මිලදී ගැනීමේදී තීරණයක් ගැනීම ඉතා පහසු වෙනවා.

 

  • සමාජ වගකීම – යම් ව්‍යාපාරයක් තුළින් ධනාත්මක වෙනසක් ලෝකයට සිදු වෙනවා නම් එම සන්නාමය මිනිස්සුන්ගේ කැමැත්ත දිනා ගන්න සමත් වෙනවා.

 

  • සාධාරණත්වය සහ අවංක බව – නිෂ්පාදනයේ හෝ සේවාවේ මිල ගණන් පාරිභෝගිකයන්ව නොමඟ යැවීමකින් තොරව ලබා දෙනවා නම් සහ හැම පාරිභෝගිකයෙකුටම සාධාරණව සලකනවා නම් එවන් ව්‍යාපාරවලට වැඩියෙන් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න පුළුවන්.

 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, සදාචාරසම්පන්න ලෙස අලෙවිකරණයේ යෙදෙන සන්නාම කෙරෙහි මිනිසුන් වැඩියෙන් ආකර්ෂණය වන බව සහ එයින් සන්නාමයේ ප්‍රතිරූපය පවා ධනාත්මක අයුරින් ගොඩනැංවෙන බවයි. සමාජ මාධ්‍ය ආචාරධර්ම අනුගමනය කරමින් කරන ව්‍යාපාරවලට වැඩි අවධානයක් ලැබෙනවා වගේම වැඩි පාරිභෝගික පිරිසක් රඳවා තබා ගැනීමට හැකි වීමේ වාසියත් හිමි වෙනවා.

 

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?