තහනම් වුණ දෙයක් බලමු ද?

කලාව කියන්නේ නිදහසක් තිබිය යුතු, හරිම සාමකාමීව, නිදහසේ රසවිඳින්න අවශ්‍ය දෙයක්. කලාත්මක බව, කලා හැකියාව හැමෝටම උරුම නැහැ. කලා නිර්මාණ අතරින් චිත්‍රපටය කියන්නේ සුවිශේෂී කලා නිර්මාණයක්. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පිළිබඳ අතීතයේ ඉඳන් වර්තමානය දක්වා සලකා බැලුවාම විශිෂ්ට චිත්‍රපට ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් අවාසනාවට කරුණක් වෙන්නේ ඉතාමත් විශිෂ්ට චිත්‍රපට බොහෝමයක් තහනමට ලක්වෙලා තිබෙනවා. ලංකාවේ මුලින්ම තහනම් වූ චිත්‍රපටය “නළඟන” චිත්‍රපටයයි. ප්‍රවීණ නිළි රුක්මණී දේවි ද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුණා.

ලංකාවේ චිත්‍රපට ඉතිහාසයේ වඩාත් වැදගත් සන්ධිස්ථානයක් වෙන්නට ඉඩ තිබුණු දුටුගැමුණු චිත්‍රපටියත් දේශපාලන හේතු නිසා තහනමට ලක්වූ චිත්‍රපටියක්. එහි එන සුරනිමල යෝධයා අලියෙකු උස්සා බිම දැමීම නිසා ඒ චිත්‍රපටය ජනගත කිරීමට එවක එ.ජා.ප ආණ්ඩුව ඉඩ ලබා දුන්නේ නැහැ. මෙහි සුවිශේෂීත්වය නම් ලංකාවේ පලමුවැනි  Animation චිත්‍රපටය ලෙස මෙය හඳුනා ගන්නට පුලුවන්වීම. අතින් අඳින ලද චිත්‍ර කැමරාවකින් රූගත කර මේ චිත්‍රපටය නිර්මාණය කලේ ගිවන්ත අර්ථසාද් සහ දිනේෂ් ප්‍රියසාද් යන දෙසොහොයුරන් විසින්. දේශපාලන හේතු නිසා තහනම් වුණ තවත් චිත්‍රපටියක් විදියට “තීන්දුව” චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම අශෝක හඳගම මහතාගේ “අක්ෂරය” චිත්‍රපටයත් තිරගත නොවීම තහනම් කළ චිත්‍රපටයක්. එහි දරුවෙක් සහ මවක් නිරුවතින් ස්නානය කරන දර්ශනයක් තිබීම නිසා නිසි බලධාරීන්ගේ තහනමට ලක්වුණා. 2011 වසරේ නිර්මාණය වූ “ඉගිලෙන මාලුවෝ” චිත්‍රපටයත් හමුදා නිල ඇඳුම් භාවිත කරමින් එහි ගෞරවයට හානි වන ලෙස චරිතය ඉදිරිපත් කර තිබීමත්, ලිංගික දර්ශන ඇතුලත්ව තිබීමත් නිසා තහනමට ලක් වුණා.

මෙම චිත්‍රපටවලට අමතරව “පුරහඳ කලුවර” චිත්‍රපටය දිගු කලක් තහනමට ලක්ව  තිබූ චිත්‍රපටයක් ලෙස හඳුනාගන්න පුලුවන්. ‘උසාවිය නිහඬයි’, ‘බොරදිය පොකුණ’ වැනි චිත්‍රපටත් කෙටි කලක් තහනමට ලක්ව නැවත තිරගත වූ චිත්‍රපටයි. අශෝක හඳගම මහතාගේ “තනි තටුවෙන් පියාඹන්න”, විසාකේස චන්ද්‍රසේකරම් මහතාගේ “සයපෙති කුසුම” වැනි චිත්‍රපට සමාජ විවේචනයට ලක්වුණ චිත්‍රපට විදියට හැඳින්වෙනවා. ඒවාහි ඇති සමලිංගික චර්යාවන්වලට නැඹුරු දර්ශන නිසා එලෙස සමාජ විවේචනයට ලක්ව තිබෙනවා.

මේ තහනමට ලක්වුණු චිත්‍රපට බොහෝමයක් මඟින් සමාජයේ ගැටලු, අවනීතිය, අසාධාරණකම් වඩාත් හොඳින් පෙන්නුම් කරන, සමාජයේ ඇත්ත ස්වරූපය ඉදිරිපත් කරන විශිෂ්ට නිර්මාණවලට අයත් ඒවා බව අපට හොඳින් පැහැදිලි වෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයාට මෙවැනි වටිනා චිත්‍රපට තහනම් කිරීම නිසා එකම ආකාරයේ චිත්‍රපටවලට වඩා වෙනස් රසවින්දනාත්මක චිත්‍රපටයක් නරඹන්නට නොහැකි වීම කනගාටුවට කරුණක්.

+1
0
+1
5
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?