20%කින් 80%ක ප්‍රතිඵල ලැබෙන Pareto මූලධර්මය

20%kin 80%ka prathipala labena Pareto muladharmaya

Pareto මූලධර්මය, එහෙම නැත්නම් 80/20 නීතිය ගැන සොයාගත්තේ ඉතාලි ජාතික ආර්ථික විද්‍යාඥයෙක් වුණ Vilfredo Pareto විසින්. ඔහු කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි Pareto මූලධර්මය ඔහු ඉදිරිපත් කරන්නේ. ඉතාලියේ ජනගහනයෙන් 20%ක ජනතාවක් පමණක් ඉතාලියේ තිබෙන දේපළවලින් 80%ක ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙන බව ඔහුට එම අධ්‍යයනයේදී හඳුනාගන්න හැකි වුණා. ඔහුට නිරීක්ෂණය වූ තව දෙයක් තමයි ඔහුගේ ගෙවත්තේ ඇති පැළ වර්ගවලින් 80%ක පමණ ඵලදාවක් ලැබෙන්නේ 20%ක තරම් වූ පැළ ප්‍රමාණයකින් පමණක් බව.

සරලවම පැහැදිලි කළොත් ඔයා කළ යුතු කාර්යන් 10ක ලැයිස්තුවක් ඔයා ළඟ තියෙනවා නම් එයින් කාර්යන් දෙකක් ඔයාගේ අදාළ අරමුණ වෙනුවෙන් වඩාත් ඉහළ බලපෑමක් කරනවා. මෙයින් අදහස් වෙන්නේ නැහැ කළ යුතු කාර්යන් අඩු කරන්න හෝ නොකර ඉන්න කියන එක.

ව්‍යාපාරයක් ගත්තොත් එහි 80%ක ආදායමක් උපයන්න දායක වෙන්නේ 20%ක පමණ පාරිභෝගික පිරිසක් නිසා බව මෙයින් අදහස් වෙනවා. ඒ වගේම යම් ආයතනයක 80%ක ප්‍රතිඵලයක් ලබා ගන්න දායක වෙන්නේ එහි රාජකාරි කරන සේවකයින්ගෙන් 20%ක් බවත් මෙයින් අදහස් වෙනවා. ආයතනයක් ගත් විට ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු, කැපවීමෙන් කටයුතු කරන 20%ක සේවක පිරිස ඒ ආයතනයේ දියුණුවට හේතු වෙන බවයි මින් කියැවෙන්නේ. ඒ වගේම වෙබ් අඩවියක 80%ක පමණ website traffic එකක් නිර්මාණය වන්නේ එහි පළවී ඇති 20%ක අන්තර්ගතයන් නිසා බව, ඔබ ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන් 20%ක් දෙනා පමණක් ඔබේ ජීවිතයේ යහපැවැත්මට හේතු වන බව, 80%ක රිය අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේ 20%ක ජනගහනයක් නිසා බව, 80%ක නව නිපැයුම් සිදු කරන්නේ 20%ක ජනගහනයක් බව මේ මූලධර්මයට අදාළ උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

Pareto මූලධර්මය පිළිබඳ තවත් උදාහරණයක් වන්නේ විභාග ප්‍රතිඵලයි. විභාගයකදී ලැබෙන ප්‍රතිඵලයේ 80%ක ප්‍රමාණයක් සඳහා හේතු වන්නේ ඔයා කරන 20%ක වැඩ ප්‍රමාණයක් බව මේ මූලධර්මය අනුව නිරීක්ෂණය වෙනවා. ඔයාගේ විෂය මාලාවෙන් 20%ක් ගැන අවධානය යොමු කරන්න කියන එක නෙමෙයි මෙතන අදහස. ඒ විෂයේ වැඩිම අවධානයක් දිය යුතු කොටස් හඳුනාගෙන ඊට ප්‍රමුඛතාව සහ වැඩි අවධානයක් දීමයි කළ යුතු වන්නේ. ඔයාට මතක ඇති විභාගයක් කළාට පස්සේ ඔයාට හොඳ ලකුණකට යන්න උදව් වුණේ ඔයා පාඩම් කළ සමස්ත කොටස්වලින් කුඩා ප්‍රමාණයක් කියන එක අවබෝධ වුණ අවස්ථා. සමස්තය සමග ගත් විට එය කුඩා ප්‍රමාණයක් වුවත් ප්‍රතිඵලය සඳහා වැඩි බලපෑමක් කරන්න ඒ කුඩා කොටස සමත් වුණ බව ඔයාට දැනිලා ඇති.

පෞද්ගලික ජීවිතය හෝ වෘත්තීය ජීවිතයේත් සිදු කළ යුතු කාර්යන් හඳුනාගෙන ඉන් ප්‍රමුඛත්වය දිය යුතු ඒවා තෝරාගෙන කටයුතු කළොත් 80%ක ප්‍රතිඵල ගන්න අවශ්‍ය කරන 20% කුමක්ද කියන එක ඔයාට අවබෝධ වෙයි. වැඩි කාලයක් යොදවලා ප්‍රතිඵලයක් නොලැබෙන දේවල් ද කරන අතරේ අඩු කාලයකින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න මේ මූලධර්මය ප්‍රයෝජනවත් වෙනවා.

+1
1
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?