අඩු කාලයකින් වැඩ ගොඩක් කරන මැජික් එක

adu kalayakin wada godak karana magic eka

වර්තමානයේ බොහෝ දෙනෙක් ගොඩක් කාර්යබහුලයි. මේ හේතුව නිසාම අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩියි වගේම ඒ වැඩ කොටස අපිට නිමා කරන්න තිබෙන කාලයත් අවමයි. Brian Tracy විසින් රචිත Eat That Frog කෘතිය ඔහු විසින් ලියා තිබෙන්නේ ඵලදායිතාව වැඩි කරගෙන අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න කාලය කළමනාකරණය කරගන්න ඕන කොහොමද කියන කාරණාව මුල් කරගෙන. Brian Tracy කාල කළමනාකරණය පිළිබඳව වසර 30කට අධික කාලයක් අධ්‍යයනයක යෙදුණ පුද්ගලයෙක්. අමාරුයි කියලා හිතෙන වැඩක් කල් දමමින් අවසාන මොහොතේ වැඩි ශ්‍රමයක් යොදලා ඒ කාර්ය නිමා කළ අවස්ථා ඔයාගේ ජීවිතෙත් ඇති.

ගොඩක් දෙනෙක් කියන දේ තමයි වැඩ කීපයක් තියෙන වෙලාවට මුලින්ම ලේසිම වැඩ ටික මුලින් ඉවර කරලා ඊළඟට අමාරු වැඩ ටික පටන් ගන්න කියන එක. එහෙම නැතුව අපි අමාරු වැඩ මුලින් පටන් ගත්තොත් ඒකට විශාල වශයෙන් කාලය වැය වෙන්න පුළුවන් නිසා අපිට ලේසි වැඩ පවා අවසානයේ හොඳින් කරගන්න බැරිවෙයි කියන එකයි ඔවුන් පවසන්නේ. නමුත් Brian Tracy මේ පොතේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.

ඔහු කියනවා ඔයාට ගෙම්බෙක් ආහාරයට ගන්න වෙනවා නම් මුලින්ම ඒ දේ කරලා ඉන්න කියලා. ඔහු මේකෙන් අදහස් කරන්නේ දවසේ තිබෙන වැඩ කටයුතුවලින් අමාරුම දේ මුලින්ම කරලා ඉන්න කියන එක. මේ අදහස එන්නේ මාක් ට්වේන් කියන ඇමරිකානු කතුවරයා වරක් කියූ දෙයක් එක්කයි. මාක් ට්වේන් වරක් කියනවා, “ඔබට සෑම උදෑසනකම ජීවත් වෙන ගෙම්බෙක්ව ආහාරයට ගන්න වෙනවා නම් ඔබට දවසේ ඉතිරි කාලය හොඳින් ගත කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි දවස ඇතුළත ඔබට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේ ඔබට දැන් සිද්ධ වෙලා ඉවරයි. ගෙම්බෙක් උදේම කන්න වෙනවා කියන්නේ දවසේ ඔබට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේ.” Brian Tracy මේ පොත තුළින් කියන්නෙත් ඒ වගේ දෙයක්.

මුලින්ම දවස තුළ ඔයාට තිබෙන වැඩ මොනවද කියලා ලිස්ට් එකක් හදාගන්න කියලා Brian Tracy කියනවා. ඒ ලිස්ට් එකට අනුව ඔයාට කරගන්න තියෙන අමාරුම වැඩ මොනවද කියන එක, ඒ කියන්නේ ගෙම්බන් කී දෙනෙක් ඔයාට එදා දවස තුළ කන්න වෙනවද කියන එක හඳුනාගන්න කියලා Brian Tracy කියනවා. ඔහු කියනවා, “ඔබට එක දවසක් තුළ ගෙම්බන් දෙදෙනෙක් ආහාරයට ගන්න වෙනවා නම්, එයින් කැතම ගෙම්බාව මුලින් ආහාරයට ගන්න.” කියලා. ඒ කියන්නේ අසීරු දේවල් අතරිනුත් වඩාත්ම අසීරු දේ මුලින්ම කරන්න කියන එක. ඒ විදියට ඔයාට දවස ඇතුළත කරන්න තියෙන අමාරුම කාර්ය නිමා කරලා අනිත් කාර්යන්වලට යොමු වෙන එකෙන් වෙන්නෙ අනවශ්‍ය ලෙස අමාරු කාර්ය ගැන ඔයා හිත හිත ඉන්නවා වෙනුවට ඔයා ඒක කරන්න පෙලඹෙන එක. ඒක දවස පුරා ධනාත්මක බලපෑමක් කරන්න සමත් වෙනවා. නැත්නම් ගොඩක් දුරට වෙන්නේ අමාරු කාර්යක් කල් දාන්න අපි උත්සහ කරන එක. අවසානයේ ඒ විදියට යම් කාර්යක් කල් දැමීම අපිට අනවශ්‍ය බරක් පැටවීමක් වගේ දැනෙන්න ගන්නවා.

මේ පොතේ සඳහන් වෙන්නේ මේ දේ අභියෝගයක් විදියට භාර අරගෙන පුහුණු වෙන්න කියලයි. වැඩ කල් දැමීම පුරුද්දක් කරගත්ත ඔයාට ඒකෙන් මිදෙන්නත් මේක හොඳ ක්‍රමයක් වෙයි. අඩු කාලයකින් වැඩි වැඩ කොටසක් කරන්න තවත් ක්‍රමවේද මේ පොතේ සඳහන් වෙනවා. ඉදිරියේදී ඒ ගැනත් කියවමු.

+1
5
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?