අරුම පුදුම ඉස්කෝලයක කතාව

aruma pudhuma iskolayaka kathawa

1937 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නගරය ආශ්‍රිතව ආරම්භ වුණා අරුම පුදුම පාසලක්. අත්හැර දැමූ දුම්රිය මැදිරි හයක් පන්ති කාමර ලෙස යොදාගත් අපූරු දුම්රිය පාසලක්. මේ පාසලේ නම ටොමෝ. මේ පාසල අරුම පුදුම පාසලක් වෙන්නේ ළමයා කියන්නේ කවුද කියන එක මේ පාසලේ මුල් ගුරුතුමා හොඳින් වටහාගෙන හිටිය නිසයි. බොහෝ වෙලාවට ළමයින් තුළ තිබෙන නිර්මාණශීලීත්වය වැඩිහිටියන් විසින් සහ පාසල් විසින් නැති කරලා දානවා. ළමයි යම් යම් දේවල් ප්‍රශ්න කරනකොට, ගෙදර බිත්තිවල චිත්‍ර අඳිනකොට, දඟකාරකම් කරනකොට ගොඩක් වෙලාවට ළමයට තරවටු කරලා නිහඬ කරන්න වැඩිහිටියෝ උත්සාහ කරනවා. මේ අරුම පුදුම පාසල වුණ ටොමෝවේ නිර්මාතෘ වූ සොසාකු කොබයාෂි නම් ළමයි ගැන එහෙම හිතුවෙ නෑ. ඔහු හැම වෙලාවෙම ළමයි ගැන කිව්වේ “ඔවුන්ගේ අපේක්ෂාවන්ට බාධා නොකරන්න. ඔවුන්ගේ සිහින ඔබේ සිහිනවලට වඩා විශාලයි” කියලා.

මේ අපූරු පාසල ගැන ජපන් භාෂාවෙන් පොතක් ලියවෙනවා ‘මදොගිවා නො ටොට්ටෝ චං’ කියලා. 1981දී ටෙට්සුකෝ කුරොයානගී නම් රූපවාහිනී ශිල්පිනිය විසින් ලිව්ව මේ කතාව ජපානයේ ගොඩක් ජනප්‍රිය වෙනවා. පොතේ පිටපත් ලක්ෂ ගණනක් විකිණෙනවා. මේ පොත 1982දී ඩොරති බ්‍රිට්න් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා ‘Totto-Chan The Little Girl at the Window’ නමින්. ‘හරි පුදුම ඉස්කෝලෙ’ නමින් ලීලානන්ද ගමාච්චි විසින් මේ අපූරු කතාව සිංහල භාෂාවටත් පරිවර්තනය කරනවා.

මේ කතාව ලියූ කතුවරිය වන ටෙට්සුකෝ කියන්නේ, පළමු ශ්‍රේණියේදීම පාසලෙන් නෙරපනු ලැබූ කුඩා දැරියක්. ටෙට්සුකෝට තමන්ගේ නම පොඩි කාලේ උච්ඡාරණය කරන්න අපහසු නිසා කවුරු හරි එයාගෙන් නම ඇහුවම එයා කියන්නේ ටොට්ටෝ චං කියලා. මේ කතාව දිවෙන්නේ ටොට්ටෝ චං කියන මේ දඟකාර දැරිය වටා වුණාට ඒ හරහා දෙන පණිවුඩය හරිම ප්‍රබල එකක්. ළමයෙක්ගේ දඟකාරකමට එහා ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ගැන මේ කතාව තුළින් හොඳ පණිවුඩයක් දෙනවා. පළමු පාසලෙන් ටොට්ටෝ චංව අයින් කරන්නේ ඇයගේ දඟ වැඩ නිසා. පන්තියේ ගුරුවරිය ටොට්ටෝ චංව ආදරෙන් බලාගන්න අසමත් වෙන නිසා. හැබැයි ටොමෝවේ මුල් ගුරුතුමා වන කොබයාෂි ඇයව ටොමෝවට භාර ගන්නවා වගේම “දන්නව ද? ඔයා හරිම හොඳ ළමයෙක්” කියලා දිරිගන්වමින් ඇයව පාසලේ තියාගන්නවා. පාසලට ඇයව භාර දුන්න දවසේ ටොට්ටෝ චංට තමන් ගැන විස්තර කරන්න කියලා ඔහු ඇයට නිදහසේ කතා කරන්න ඉඩ දෙනවා. තොරතෝංචියක් නැතුව කලින් පාසලේදි කළ දඟ වැඩ, ලස්සන ගුරුතුමිය, තමන්ගේ සුරතල් බල්ලා ගැන වගේම එයාගේ ඇඳුම් ගැන පවා පැය හතරක් පුරාවට ටොට්ටෝ චං මුල් ගුරුතුමාට කියනවා. ඇයට මේ විදියට සවන් දුන්න කෙනෙක් මීට කලින් හිටියේ නෑ කියලා ඇයට හිතෙනවා.

ටොට්ටෝ චං කලින් පාසලෙන් අයින් කළ බව එයා දැනගෙන හිටියේ නැහැ. එයාගේ අම්මා ඒක ඇයට කිව්වෙත් නැහැ. ඒ වගේ දෙයක් පුංචි දැරියකට තේරුම් ගන්න බැරි බව වගේම ඒක කිව්වොත් ඇය මනසින් කඩා වැටේවි යැයි ඇය සිතුවා. ටොට්ටෝ චංගේ විසි වන උපන්දිනයත් පසු වුණාම තමයි ඇයට මව මේ දේවල් කිව්වේ.

ටොමෝවට කවදාවත් පාසල් ගීයක් තිබුණේ නැහැ. සොබාදහමේ රිද්මයට ළමුන්ව අත්හැර දමා ඒ රිද්මය සමග ඔවුන්ට මුසුවන්නට ඉඩ සලසන එක තමයි පාසලේ මුල් ගුරුතුමා කළේ. මේ පාසලේ ක්‍රීඩා දිනේ දවසට තරග ඉසව්වලින් ජයග්‍රහණය කරන දරුවන්ට තෑගි විදියට ලැබුණේ ගෝවා ගෙඩියක්, රාබු අලයක්, කැරට් අලයක් වගේ එළවළුවක්. මේ දේවල් ගෙදර අරන් යන්න ළමයි අකමැති බව දැනුනම මුල් ගුරුතුමා කළේ “ඔයාලා තරග ඉසව්වලින් ජයග්‍රහණය කරලා උපයා ගත්ත දේවල් මේවා, ඔයාලා ආස නැද්ද තමන්ගේ මහන්සියෙන් උපයපු දෙයක් අද ගෙදර අයට කන්න දෙන්න?” කියලා අහපු එක. එහෙම ඇහුවම ළමයි ඔක්කොම කැමති වුණා එළවළු ගෙවල්වල අරන් ගිහින් අම්මලාට කියලා ඒවා හදවන්න. මේ වගේ හරි අපූරු වැඩ තව ගොඩක් ටොමෝවේ සිද්ධ වුණා.

ළමයින්ගේ සිනහ හඬින්, ආදරයෙන් පිරුණු හරි පුදුම ඉස්කෝලයක් වුණ ටොමෝව 1945දී විනාශ වෙලා යනවා. ඒ දෙවන ලෝක යුද්ධය නිසා ටෝකියෝවට ඇද වැටෙන ගුවන් ප්‍රහාර නිසයි. ටොමෝව නැවත ගොඩ නැංවුණේ නැතත් මේ පොත ඇතුළේ අදටත් වලංගු වටිනා කතාවක් ඇතුළත්වෙලා තියෙනවා.

+1
0
+1
3
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?