මෙවැනි අර්බුදකාරී සමයක සමාජ මාධ්‍ය ජාල හසුරවන්නේ කෙසේ ද?

how-to-use-social-media-time-like-this

අද අප රට මෙන්ම ලෝකයේ බොහොමයක් රටවල් දැනට පවතින කොරෝනා වෛරසය නිසා පීඩාවට පත්වී අවසානයි. බොහෝ ආයතන මෙන්ම කර්මාන්ත ද ආර්ථිකමය අතින් පසුබෑමකට ලක්වී තිබෙනවා. තමාගේ සේවකයින් මෙන්ම ගනුදෙනුකරුවන් පවා තම නිවාසවලට වී ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන මොහොතක ආයතනයක් හෝ කිසියම් සන්නාමයක් තමන්ගේ සන්නිවේදන කටයුතු සඳහා යොදාගත හැකි හොඳම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍ය ජාලයි. සමාජ මාධ්‍ය ජාල හැසිරවීම දැලි පිහියෙන් කිරි කනවාක් වැනි අවධානයෙන් අවදානම කළමනාකරණය කරගනිමින් කළ යුත්තක්. මෙවැනි අවස්ථාවක ඒ අවදානම තවත් වැඩිවන්නේ සමාජ මාධ්‍ය ජාල භාවිත කරන අය වගේම හැම කෙනෙක්ම ඉතා සංවේදී ලෙස තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීම නිසාවෙනි. මෙවැනි තත්ත්වයක සමාජ මාධ්‍ය ජාල හැසිරවීමේදී වැදගත් වන කරුණු මොනවා ද?

  1. ප්‍රවර්ධන (Promotions) කටයුතු සහ විකුණුම් (Marketing & Sales) කිරීමේදී අතිශයින් ප්‍රවේශම් වන්න.

මේ කාල වකවානුවේ බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවා පවා නොමැතිව සිටිනා අවස්ථාවක් නිසා ප්‍රවර්ධන කටයුතු සහ විකුණුම් කිරීම හැකි පමණ අඩු කරන්න. අත්‍යවශ්‍ය සේවා හැරුණු කොට අනෙකුත් සේවා කටයුතු මේ මොහොතේ වැඩි අවධානයට පත් නොවේ. උදාහරණයක් වශයෙන් මේ කාලයේ ආහාරපාන, සනීපාරක්ෂක, සෞඛ්‍යය, ශාරීරික යෝග්‍යතා සහ නිවසේ පරිභෝජනයට උපකාරී වන ද්‍රව්‍යවලට වැඩි අවධානයක් ලබා දිය යුතු වේ. මෑතකදී සමහර සන්නාම අනිසි ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කිරීමෙන් තම ව්‍යාපාර බලපත්‍ර පවා අහෝසිකරගත් අවස්ථා ඇත.  

  1. ඔබගේ ඉලක්කගත පිරිස (Target Audience) සමග සමීප වන්න.

ඔබගේ ආයතනය හෝ සන්නාමය මගින් මේ පත්ව ඇති තත්ත්වය පිළිබඳව සංවේදී බව ඔබ වටා සිටින පිරිසට දැනුම් දෙන්න. බොහෝ ආයතන තමන්ගේ සේවක පිරිසට සහ ගනුදෙනුකරුවන්ට සමාජ මාධ්‍ය ජාල හරහා කලබල නොවී මේ අවස්ථාවට මුහුණ දෙන ලෙසටත්, ඔවුන් සමග එම ආයතනය සිටිනා බවටත් ඒත්තු ගැන්වෙන ප්‍රකාශ සහ පණිවුඩ නිකුත් කර තිබෙනු සුලබව දකින්නට ලැබුණා. 

  1. විනිවිදභාවයෙන් යුතු ස්ථිර සන්නිවේදන ක්‍රමවේදයක් පවත්වා ගන්න.

බොහෝ ආයතන පවා මෙම දිනවල තමන්ගේ සේවක නිවාඩු, වේතන කප්පාදු සහ ආයතනික තීරණ වැනි දෑ විනිවිදභාවයකින් යුතුව සියලු දෙනා අතර බෙදා හරිනු දකින්නට ලැබුණා. වෙනත් මාර්ග ඔස්සේ පැතිර යන බොරු ප්‍රකාශවලට වඩා තත්ත්වය කොතරම් දරුණු වුවත් එම ආයතන අවංකභාවයෙන් යුතුව කටයුතු කිරීම ගැන බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වුණා. එමෙන්ම නිරතුරුවම තමන්ගේ පිරිස පිළිබඳ සොයා බලමින්, ඔවුන්ට නිවසේ සිට කළ හැකි දේවල් බෙදා ගනිමින් මෙන්ම ඔවුන්ගේ මානසික මටට්ම ඉහළ නැංවීමට උපකාරී වන ලෙස නොයෙකුත් අන්තර්ගතයන් යටතේ සන්නිවේදනය කිරීමට පෙලඹෙනු දක්නට ලැබුණා.  

  1. අවදානම සහ අනවශ්‍ය තොරතුරු පළ කරන්න එපා.

මේ අවස්ථාවේ රජයේ පිළිගත හැකි අංශ මගින් අවදානම් තත්ත්වය පිළිබඳව නිතර ජනතාව දැනුවත් කරනවා. එම නිසා නැවතත් ඔබේ සමාජ ජාල මගින් දැනට සිදු වූ මරණ ගණන, රෝගීන් ප්‍රමාණය වැනි දෑ පළ කිරීම කරන්නට එපා. එමෙන්ම විශ්වාස කටයුතු මූලාශ්‍රයකින් හැරුණු විට කිසිම වගකීමක් නොමැති උපදෙස් හෝ තොරතුරු ඔබගේ සමාජ ජාල පිටුවල පළ කරන්න එපා.  

  1. විනෝදය සහ ක්‍රියාකාරකම්

විදේශ ආයතන සහ සමාජ ක්‍රියාකාරීන් පවා මේ දිනවල තමන්ගේ විනෝදාස්වාද කටයුතු කිරීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. ලෝකයේ බොහෝ දෙනා ගත කරනා මේ දුෂ්කර අවස්ථාව නිසාවෙන් සුළු පිරිසකගේ විනෝදාස්වාදය උදෙසා කටයුතු නොකිරීමට වගබලා ගත යුතු වෙනවා. බොහෝ කලාකරුවන් පවා තමන්ගේ සමාජ මාධ්‍ය තුළින් සජීවීව පැය කිහිපයක් තමන්ගේ රසිකයන්ගේ සිත් සැනසීම උදෙසා ගීත ගායනා කළා. ඔවුන් එය කිසි විටෙකත් සංදර්ශනයක් හෝ තමන්ගේ ප්‍රචාරණ කටයුතු උදෙසා යොදාගත්තේ නැහැ. එමෙන්ම නිවසටම හිර වී සිටිනා පිරිස් වෙනුවෙන් යම් යම් පවුලේ ක්‍රියාකාරකම් (ගෙවතු වගා, පවුලේ ක්‍රීඩා සහ පැරණි කාටුන්) යොදාගෙන තිබුණා. නමුත් යම් ආයතන සහ පිරිස් තවමත් මේ අවස්ථාව වැරදියට යොදා ගනිමින් අවුරුදු ප්‍රවර්ධන සහ අවුරුදු ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු දකින්නට ලැබීමත් කනගාටුවට කරුණක්. මෙකී තොරතුරු වගේම ඉදිරියේදී මේ තත්ත්වයෙන් ඇතිවන ආර්ථික පසුබෑම නිසාවෙන් බොහෝමයක් ආයතන තාක්ෂණික සන්නිවේදන ක්‍රම සමග සක්‍රීයව සමාජ ජාල ප්‍රවර්ධන ක්‍රම යොදාගැනීමේ ඉඩකඩක් තියෙනවා. එබැවින් දැන් පටන්ම ඔබගේ ආයතනය සහ සන්නාමය සමාජ මාධ්‍යය තුළ වගකීම් සහගතව පවත්වාගෙන යාම ඉතා වැදගත්.

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?