ඔබට හුරු පුරුදු ටෙලිනාට්‍යවල ඔබ නොදන්න කැමරා කෝණ

web cover

ලිඛිත භාෂාවට වගේම රූප භාෂාවට ද හෝඩියක් (Alphabet) තිබේ. රූප භාෂාවේ හෝඩිය රූප ඛණ්ඩ හෝඩියයි. වර්තමානයේ බහුලව භාවිත වන රූප ඛණ්ඩ (Camera shots) කිහිපයක් ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස කෙරේ.

රූප රාමුවට හසුවන ප්‍රදේශය නිවැරදි ලෙස නිර්ණය කිරීම සඳහා කිසියම් ඒකකයක් ලෙස මිනිස් රූප යොදා ගැනීම පොදු ව්‍යවහාරයයි. මිනිස් රූප බහුල වශයෙන් චිත්‍රපට හා රූපවාහිනී නිර්මාණයන්හි භාවිත වීම එයට හේතුවයි. ඒ අනුව රූප ඛණ්ඩ මෙලෙස වර්ග කළ හැකියි.

  • ඉතා දුර රූපය ( Extreme Long shot) – ELS

 

ඉතා පුළුල් ප්‍රදේශයක් හසු කර ගනිමින් සකසන රූප රාමුව ඉතා දුර රූපය ලෙස නම් කෙරේ. එවැනි රූපයකින් පුළුල් ප්‍රදේශයක පැතිරුණු කාන්තාර භූමියක්, ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත නාගරික ප්‍රදේශයක්, භූ විෂමතා ලක්ෂණවලින් යුතු පුළුල් කඳු ප්‍රදේශයක් දර්ශනය කළ හැකියි.


  • අති දුර රූපය (Very Long shot) – VLS

 

තරමක් පුළුල් ප්‍රදේශයක් හසු කර ගනිමින් සකසන රූප රාමුව අති දුර රූපය ලෙස නම් කෙරේ. එවැනි රූපයකින් හාත්පස පරිසරය දැක්වීම මෙන්ම කිසියම් සිදුවීමක් වන ස්ථානය තොරතුරු සහිතව පෙන්වන්නට ද හැකියාව තිබේ.

  • දුර රූපය (Long shot) – LS

 

සාමාන්‍යයෙන් කෙනෙකුගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා රාමුගත කරන රූප රාමුව දුර රූපය ලෙස නම් කෙරේ. පුළුල් කෝණ රූපය (wide Shot or full shot) ලෙස ද සමහර අවස්ථාවල මෙය සඳහන්ව තිබේ. කෙනෙකුගේ සම්පූර්ණ පෙනුම රාමුගත කරගන්නා නිසා ඔහුගේ ඉරියව්, ඇඳුම් පැලඳුම් පිළිබඳ සමස්ත අදහසක් දුර රූපය මගින් ලබා ගන්නට හැක. වඩා වැදගත් කරුණ වන්නේ පසුබිම සමග වස්තුවේ තිබෙන සම්බන්ධය එම රූප රාමුවෙන් විස්තර වීමයි.


  • මධ්‍යම රූපය (Mid shot) – MS

 

මිනිස් සිරුර දෙකට බෙදන රේඛාවක් නාභිය හරහා තිරස්ව ඇඳිය හැකියි. එවිට ඉහළ කොටස එක් අර්ධයකුත්, පහළ කොටස තව අර්ධයකුත් වේ. එයින් සිරුරේ ඉහළ අර්ධය ඇතුළත් වන සේ රාමුගත කෙරෙන රූපය මධ්‍යම රූපය ලෙස නම් කෙරෙනවා. දුරත් නොවන වඩාත් සමීපත් නොවන

හැඟීමක් ප්‍රේක්ෂකයා වෙත ලබා දෙන්න එවැනි රූප රාමු භාවිත කළ හැකියි. ප්‍රවෘත්ති ප්‍රකාශවලදී ප්‍රවෘත්ති පූරකවරයා රඳවන්නේ එවැනි රූපයකයි. එහිදී වඩා සමීප කෙනෙක් ප්‍රවෘත්තිය කියනවාට වඩා එය අවධාරණාත්මකයි. වඩා දූරස්ථ කෙනෙක්ගේ ප්‍රකාශයකට වඩා විශ්වසනීයයි.

  • මධ්‍යම සමීප රූපය (Medium Close Up) -MCU

    පෙනී සිටින කෙනාගේ ළය මට්ටමෙන් ඉහළ ප්‍රදේශය හසු කරගන්නා රූප රාමුව ලෙස මෙය හැඳින්විය හැකිය. චරිතය වඩා සමීපව දනවන්නට එයට හැකියි. චරිතයේ හැඟීම් මෙන්ම අංග චලනයනුත් යම්තාක් මට්ටමකට එබඳු රූපවල පෙනේ. සිනමාවට වඩා සාපේක්ෂව රූපවාහිනිය කුඩා තිරයක් බැවින් මධ්‍යම රූප, මධ්‍යම සමීප රූප ටෙලිවිෂන් මාධ්‍යට වඩා උචිත බවට ද මතයක් පවතිනවා.
  • සමීප රූපය (Close Up) – CU

 

යමක විස්තර වඩාත් හොඳින් පෙන්වන්නේ ළංව බැලූ විටයි. රූප රචනයේදී වඩාත් අවධාරණයෙන් බලවන්නට අවශ්‍ය දේ පෙන්වීමට සමීප රූපය භාවිත කෙරේ. එවිට හැඟීම් වඩාත් හොඳින් පෙනේ. සමීප බව වඩාත් හොඳින් දැනේ.

  • අතිශය සමීප රූපය (Extreme Close Up) – ECU

 

සවිස්තරාත්මක රූපය (detail Shot) ලෙස සමහර ලේඛනවල මෙය දක්වා තිබේ. පසුබිම සම්පූර්ණයෙන්ම වාගේ ඉවත් කර වස්තුවට රාමුවේ වැඩි ප්‍රතිශතයක ඉඩක් ලබා දෙමින් මෙම රූප රාමු සැකසේ. ඉතා ආසන්නයට ගොස් බැලූ කල දැනෙන හැඟීම ඇති කිරීම අපේක්ෂාවෙන් එබඳු රූප යොදයි. වස්තුව කෙරෙහි අවධාරණාත්මක බවක් ඇති කරන්නට එවිට හැකියි.

කැමරා කෝණය අනුව ද අපට රූප ඛණ්ඩ වර්ග කළ හැකිය.

  • ඉහළ කෝණී රූපය (High Angle Shot)

කැමරා කෝණය යනු වස්තුවට සාපේක්ෂව කැමරාව තබන කෝණයයි. මේ අනුව වස්තුවට ඉහළින් කැමරාව ස්ථානගත කොට ලබා ගන්නා රූපය ඉහළ කෝණී රූපයකි.

  • පහළ කෝණී රූපය (Low Angle Shot)

වස්තුවට පහළින් කැමරාව ස්ථානගත කොට ලබාගන්නා රූපය පහළ කෝණී රූපයකි.

  • අතිශය ඉහළ කෝණී රූප පක්ෂ දෘෂ්ටි කෝණී (Bird Eye View Shot) ලෙස හැඳින්වේ.

එමෙන් ම රාමුවේ වස්තූන් සකස් කරන ආකාරය අනුව ද අපට රූප ඛණ්ඩ වර්ග කළ හැක.

  • උරහිසට ඉහළින් ගන්නා ද්විත්ව රූපය (Over the Shoulder Two Shot) – OS2S

 

කිසියම් රූපයක චරිත දෙකක් දර්ශනය වන අවස්ථාවේදී එහි එක් චරිතයක උරහිසට ඉහළින් අනෙක් චරිතය රූපරාමුවට නතු කර ගැනීම මෙමඟින් සිදු වේ.

  • පැති රූපය – (Profile Shot) – PS

 

මුහුණට මුහුණලා චරිත දෙකක් හමුවන අවස්ථාවකදී ඔවුන් දෙදෙනාගේම පැති රූපය රාමුගත කිරීම මෙයින් අදහස් වේ.

මූලාශ්‍ර:

සිනමා රූප, මහින්දපාල එම්. ඩී., සරසවි ප්‍රකාශන, දෙවන මුද්‍රණය, 2016

ඡායාරූප
කූඹියෝ, සිඳු, නාඩගම්කාරයෝ සහ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයන් ආශ්‍රයෙනි.

+1
5
+1
4
+1
2
+1
2
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?