පාරිභෝගිකයා ඇමට හසු කරගන්නා Bait & Hook Business Model එක

paribogikaya amata hasu karaganna Bait & Hook Business Model eka

සමහර නිෂ්පාදන ඉතාම අඩු මිලට හෝ නොමිලේ දෙන අවස්ථා වෙළඳ දැන්වීම් තුළින් වගේම මඟතොටේ යන එන විට වුණත් ඔයාට දකින්න ලැබිලා ඇති. සමහර අවස්ථාවල ඔයා පුදුමයට පත් වෙන්නත් ඇති ඇයි මේ වගේ නිෂ්පාදනයක් මෙහෙම අඩු මිලට විකුණන්නේ කියලා. ඒ ආකාරයට යම් නිෂ්පාදනයක් ඉතාම අඩු මුදලකට, නොමිලේ හෝ ආයතනය පාඩු ලබා විකිණීමේ අලෙවි ප්‍රවර්ධන කටයුත්ත තුළින් සිදු වන්නේ ආයතනය විශාල ලාබයක් ඉපැයීමයි. මේ ආකාරයේ ව්‍යාපාර ආකෘති (Business Model) හඳුන්වන්නේ Bait & Hook Business Model / Razor & Blade Business Model කියලා.

ඒ කියන්නේ හරියට ඇමක් දාලා මාළුවෙක් අල්ලගන්නවා වගේ පාරිභෝගිකයාව තම නිෂ්පාදන මිල දී ගැනීම සඳහා පොළඹවන ව්‍යාපාර ආකෘතියක් මේක. Razor & Blade කියන නමින් මේක ඔයාලට වඩාත් පැහැදිලි වෙයි. බ්ලේඩ් තල මාරු කරන රේසර් එකක් ගැන හිතුවොත් අඩු මුදලකට රේසර් එක මිල දී ගන්න පුළුවන් වුණාට ඒ සඳහා අවශ්‍ය බ්ලේඩ් මිල දී ගන්න වැය වන මුදල වැඩියි. Gillette රේසර් එක හඳුන්වා දුන් සමාගම අඩු මුදලකට රේසර් එක පාරිභෝගිකයන්ට ලබා දුන්නා. නමුත් එයට අවශ්‍ය බ්ලේඩ් මිල අධික වුණා. ඒ වගේම තමයි වරින් වර බ්ලේඩ් මාරු කරන්න වෙන නිසා රේසර් එක අඩු මුදලකට ලබා දීම ආයතනයට පාඩුවක් වුණේ නැහැ. Razor & Blade Business Model මේ විදියට ව්‍යාපාරික ලෝකයට ආවා වගේම අද වන විට මේ ව්‍යාපාර ආකෘතිය අනුව සැලකිය යුතු භාණ්ඩ හා සේවා බිහිවෙලා තිබෙනවා.

Nespresso Coffee Machine එකක් මිල දී ගැනීමේදී එය සාපේක්ෂව ලාබදායී මිලකට මිල දී ගන්න පාරිභෝගිකයාට අවස්ථාව තිබෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය වන Coffee Capsule මිල අධිකයි. ඉතා අඩු මිලකට විකුණන රවුටර් එකක් හෝ නොමිලයේ දෙන සිම් කාඩ්පතක් ගැන සැලකුවොත් පාරිභෝගිකයා විසින් මාසිකව ඩේටා පැකේජ ආදිය සක්‍රීය කිරීමේදී දීර්ඝකාලීනව ඒ තුළින් ආයතනවලට ලාබ ඉපැයිය හැකියි. Bait & Hook Business Model එක භාවිත වන තව අවස්ථාවක් තමයි යන්ත්‍රසූත්‍ර වෙළඳාම. තණකොළ කැපීමට ගන්නා මැෂින් වැනි සමහර යන්ත්‍රසූත්‍ර මිල දී ගත් පසු එම යන්ත්‍රයේ මිලට සාපේක්ෂව එහි අමතර කොටස් මිල අධික බව ඔයා අත්දැකීමෙන් වුණත් දන්නවා ඇති. ප්‍රින්ටර් එකක් සැලකුවත් ප්‍රින්ටර් එකට අවශ්‍ය Catridge සඳහා අධික මුදලක් වැය වන බව ඔයා දන්නවා. Video Game Console සහ Game Software, Amazon හි Kindle E-reader සහ Kindle Books වැනි උදාහරණ ගණනාවක් Bait & Hook Business Model එක යටතේ ක්‍රියාත්මක වෙනවා.

Bait & Hook Business Model එකේ වාසිය තමයි මිලෙන් අඩු නිසා යම් නිෂ්පාදනයකට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම පහසු වීම. නමුත් ඒකම මෙහිදී අවාසියක් වන අවස්ථා ද තිබෙනවා. උදාහරණයක් ලෙස රේසර් එක සැලකුවහොත් අඩු මිලට රේසර් එකක් මිල දී ගන්න පාරිභෝගිකයා පෙළඹීම සමාගමකට වාසියක් වුණත් අඩු මිලට යම් සමාගමක් රේසර් එකක් හඳුන්වා දීම නිසා වෙළඳ පොළට ගිය අවස්ථාවක අඩු මිල රේසර් එක ආසන්නයේම අසුරා තිබෙන සාපේක්ෂව මිල අධික වෙනත් සමාගමක රේසර් එකක් මිල දී ගැනීමට පාරිභෝගිකයාට හිතෙන්නත් හැකියාවක් තිබෙනවා.

මේ ව්‍යාපාර ආකෘතියෙම අනිත් පැත්ත Reverse Razor & Blade Business Model කියලා හඳුන්වනවා. එහිදී වැඩි මිලකට ප්‍රාථමික නිෂ්පාදනය අලෙවි කරන අතර එයට අවශ්‍ය අනෙකුත් දේ අවම මිලකට අලෙවි වෙනවා. Reverse Razor & Blade Business Model එක සිය නිෂ්පාදන සඳහා යොදාගන්නා අවස්ථාවක් ලෙස Apple සමාගමේ නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්.

+1
1
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?