Polar Bearත් බොන Coca-Cola

Polar Bearth bona Coca-Cola

බොහෝ දෙනෙක් රහසිගත යැයි කියන Coca-Cola හි වට්ටෝරුව තරම්ම එහි අලෙවි ප්‍රචාරණ ක්‍රම, කාලයෙන් කාලයට යොදා ගන්නා අලෙවිකරණ පාඨ (Slogan), Coca-Cola සම්බන්ධ ඉතිහාසය මේ හැමදේම උද්‍යෝගය දනවන සුලුයි. ඒ වගේම මේ ලිපියේ ඉදිරියේදී විස්තර කරන Coca-Cola සහ පෙප්සි සම්බන්ධයෙන් කළ Blind Taste Test සහ Open Eye Test එකත් Brand එකක් ඉතා ශක්තිමත්ව ගොඩනගා ගැනීමෙන් මිනිස් මනසට කරන්න පුළුවන් බලපෑම ගැන තේරුම් ගන්න හොඳ පරීක්ෂණයක්.

කොකා – කෝලා ලෙස අප උච්චාරණය කළත් නිවැරදි ලෙස එය උච්චාරණය විය යුත්තේ කෝක කෝලා ලෙසයි. Coca-Cola වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධවේදියෙකු වූ John Pemberton තමයි 1886 වර්ෂයේදී Coca-Cola සඳහා මූලාරම්භය ගන්නේ. ඔහු 1886දී හදනවා සිරප් එකක්. ඒක හදන්න යොදාගත්තේ මොනවා ද කියන එක නම් රහසිගතයි. ඒක හරිම රසවත්. ඔහු මේ සිරප් එක Jocobs කියන ෆාමසි එකට අරන් යනවා. ඔවුන් කාබනීකෘත ජලය (Carbonated Water) සමග මේ සිරප් එක මිශ්‍ර කරලා එම පානයෙන් වීදුරුවක් ශත පහ ගාණේ විකුණනවා.

Coca-Cola කියන නම වගේම ලෝගෝ එක හදලා තියෙන්නේ ඔහුගේ ගිණුම්කරු වූ Frank Robinson විසින්. Frank Robinson සිය අත් අකුරින් තමයි ලෝගෝ එක නිර්මාණය කරන්නේ. මේ පානය එන්න එන්නම ජනප්‍රිය වෙන්න ගත්තා. 1888දී John Pemberton ඔහුගේ රහසිගත වට්ටෝරුව Asa Candler කියන ව්‍යාපාරිකයාට විකුණනවා. Asa Candler තමයි Coca-Cola පානය තව තවත් ව්‍යාප්ත කරමින් අලෙවිය වැඩිදියුණු කරන්නේ.

රතු පැහැ තීන්ත ආලේපිත බැරල්වල ප්‍රවාහනය කෙරුණ මේ පානය ඇමරිකාව පුරා ජනප්‍රිය වීමත් සමග බෝතල් කළ Coca-Cola නිෂ්පාදන නිකුත් වෙනවා. Coca-Cola බෝතලය පවා කාලයෙන් කාලයට වෙනස් හැඩවලින් වෙළඳ පොළට නිකුත් වුණ බව ඔබට මතක ඇති.

Coca-Cola මුලින්ම වෙළඳ පොළට නිකුත් වෙන්නේ ‘Tired? Then Drink Coca-Cola It Relieves Exhaustion’ ලෙස සඳහන් වෙළඳ දැන්වීමක් සමගයි. මහන්සි නම් අධික වෙහෙසට සහනයක් ලබා ගන්න Coca-Cola බොන්න යනුවෙන් වෙහෙසකාරී බවට සහනයක් ගෙනෙන පානයක් ලෙසයි Coca-Cola විසින් වෙළඳ පොළ සිය ග්‍රහණයට නතු කර ගන්නේ. Coca-Cola ශරීරයට අහිතකර පානයක් බව කොතරම් දැනුවත් කිරීම් තිබුණත් අදටත් පාරිභෝගිකයන් Coca-Colaවලට ඇබ්බැහිවෙලා වගේ එය මිල දී ගන්නේ වෙළඳ දැන්වීම් හරහා මිනිසුන්ගේ හැඟීම්වලට කතා කරන්න Coca-Cola සමාගමට හැකි වුණ නිසයි.

1975දී Coca-Cola සහ Pepsi සම්බන්ධයෙන් Blind Taste Test එකක් සිදු වෙනවා. මෙහිදී රසවත් පානය ලෙස බොහෝ දෙනෙක් තෝරගන්නේ Pepsi. Blind Taste Test එකේදි ඉන්පසු වසරවලදි පවා Pepsi රසවත්ම පානය ලෙස බොහෝ දෙනෙක් තෝරා ගත්තත් දෑස් හැර සිටියදී (Open Eye Test) Coca-Cola සහ Pepsi ලබා දී එයින් තමන් කැමති පානය තෝරා ගන්න යැයි කියූ විට බොහෝ දෙනා තෝරා ගන්නේ Coca-Cola. බ්‍රෑන්ඩ් එකක් විදියට Coca-Cola හොඳ Brand Image එකක් නිර්මාණය කරගෙන තිබීම ඒකට හේතු වෙනවා. Refresh වෙන්න නම් බොන්න ඕන Coca-Cola තමයි කියන තැනටම පාරිභෝගික මනස ගේන්න වෙළඳ ප්‍රචාරණ ක්‍රම තුළින් Coca-Colaවලට පුළුවන් වුණා. Open Happiness, Always Coca-Cola, You Can’t Beat the Feeling, Enjoy a Glass of Liquid Laughter වගේ ඔවුන් පසුගිය දශක ගණනාව පුරාම යොදා ගත් sloganවලින් සහ වෙළඳ දැන්වීම් තුළින් වෙනස්ම දෙයක් පාරිභෝගික මනසට ඇතුළු කළා.

එක් අවස්ථාවක ඔවුන් ත්‍රිමාන රූප මගින් සෑදූ Polar Bearලා යොදා ගෙන ‘Always Coca-Cola’ කියලා Campaign එකක් පවා කරනවා. මෙම Campaign එකේ නිර්මාණකරු පවසා තිබුණේ හිම වලස්සු හරිම දඟකාර, හුරුබුහුටි, විනෝදජනක සතුන් කොටසක් නිසා ඔවුන්ව යොදාගෙන මිනිස් ක්‍රියාකාරකම්වලට ගැළපෙන අයුරින් වෙළඳ දැන්වීම කරන්න අදහස් කළ බව. ආක්ටික් ප්‍රදේශයේ ජීවත් වන හැම විටම පිපාසයෙන් සිටින හිම වලසුන්ට පවා ජීවය දෙන්නේ Coca-Cola බව ඉස්මතු වෙන ආකාරයෙන් මේ Campaign එක සිදු කෙරුණා.

Coca-Cola තමන්ගේ බ්‍රෑන්ඩ් එක කොයි තරම් හොඳට මිනිස්සු අතරට ගෙන ගියා ද කියනවා නම් ලෝකයේ වැඩිම පිරිසක් හඳුනා ගන්නා වචනයක් බවට පවා Coca-Cola පත් වුණා. 2020 වර්ෂය වන විට කොරෝනාවෛරසයේ පැතිර යාමත් එක්ක Coronavirus කියන වචනය ලෝකයේ වැඩිම පිරිසක් විසින් හඳුනන තෙවන වචනය බවට පත් වෙද්දී එහි දෙවැනි තැන ගන්න Coca-Cola සමත් වුණ බව විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

+1
0
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?