වයසට ගියත් දිගටම දුවන්න!

wayasata giyath digatama duwanna

ඇඟෙන් කොච්චර වයසට ගිය කෙනෙක්ට වුණත් තරුණ හිතක් තියෙන්න පුළුවන්. ඒ නිසාම තමන් දැන් වියපත් කෙනෙක් බව නොදැනෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් තමන්ගෙ තරුණ කාලයේ තමන් ආසාවෙන් කරපු දේවල් ඒ වගේම තමන්ගෙ සිහින පස්සෙ ජීවිතයේ සැඳෑ කාලයේදීත් දිගටම හඹාගෙන යන්න තරම් ජවයක් තියෙන මිනිස්සු ඉන්නවා.

ඒත් ඒ වගේ අයට සමාජයෙන් වැටෙන තහංචි ගොඩක් වැඩියි.

“ඔයා දැන් වයසයි.”

“ඔයාට දැන් ඕවා කරන්න ශක්තියක් තියෙනවද?”

“මේ නහින දෙහින කාලෙ මොන විනෝදාංශද?”

“අතක් පයක් කඩාගන්නැතුව පරිස්සමෙන් ඉන්න එකනෙ වැදගත්”

ඒත් ඇත්තටම එහෙම කියන්න පුළුවන්ද? කොයි තරම් තහංචි වැටුණත් තමන්ගෙ හීන, පැෂන් එක අතාරින එක කොච්චර වේදනාකාරී දෙයක්ද? ඒ නිසා මිනිස්සුන්‍ව එහෙම සීමා නොකර තමන්ගෙ ජීවිතය ගත කරන්න දෙන්න ඕනි සහ කොච්චර වයස ගියත් මිනිස්සුන්ට තමන්ගෙ පැෂන් එක අතාරින්න සලස්වන එක එයාලට තවත් ආතතිය දෙන දෙයක් කියන සංකල්පයෙන් adidas සමාගමෙන් එළිදැක්වුණු ඇඩ්වර්ටීස්මන්ට් එක ගැනයි අද කතාව.

79 හැවිරිදි කාල්, හිටපු මැරතන් ක්‍රීඩකයෙක්. ඒත් දැන් ඔහු ඉන්නෙ වැඩිහිටි නිවාසයක හිර වෙලා. දවසක් ඔහු කවුළුවෙන් දකිනවා තරුණ ධාවකයෙක් වැඩිහිටි නිවාසය අසළ පාරේ දුවනවා. ඔහුටත්  තමන්ගෙ තරුණ කාලෙ පැෂන් එක, ඒ කියන්නෙ දිවීම මතක් වෙනවා. ඔහු තමන්ගෙ ඇඩිඩාස් සපත්තු යුගල දාගෙන එළියට දුවන්න හැදුවත් වැඩිහිටි නිවාසයේ පාලකයො ඒකට ඉඩ දෙන්නෙ නෑ. ඔවුන් කාල්ගෙ සපත්තු දෙක කබඩ් එකක දාලා ලොක් කරනවා.

වැඩිහිටි නිවාසයේම ඉන්න කාල්ගෙ සගයෙක් මේ දිහා බලන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, කාල් වගේම තවත් පිරිසක් වැඩිහිටි නිවාසය ඇතුළෙ තමන්ගෙ පැෂන් එක හංගගෙන, බොහෝම දුකසේ ඉන්න හැටි රෝදපුටුවෙ ඉන්න මේ මිතුරා නිරීක්ෂණය කරනවා. අන්තිමේට කාල්ට රහසින් මේ සියලු දෙනා එකතු වෙන්නෙ එක දෙයක් වෙනුවෙන්.

ඔවුන් කාල්ට ආපහු ඔහුගේ පරණ සපත්තු යුගල ගෙනැවිත් දීලා ඔහුට ඔහුගේ ආසාව හඹා යන්න ඉඩ හදලා දෙනවා. නිවාසෙ පාලකයො ඒක වළක්වන්න හැදුවත් මිතුරන් පිරිස ඒ අයව වළක්වනවා. කාල් නිවාසෙන් පිටතට දුවනවා.

මෙතනදි, adidas සපත්තු යුගල කියන්නෙ විශේෂ සංකේතයක්. ඒ තුළින් adidas සපත්තු වලින් දෙන නොස්ටැල්ජියානු හැඟීම වගේම ඒ සපත්තු වල කල් පැවැත්ම, ප්‍රමිතිය වගේ දේවලුත් වක්‍රාකාරයෙන් පෙන්නනවා. ඒ වගේම මේ ඇඩ්වර්ටීස්මන්ට් එක හරහා සීමා මායිම් බිඳගෙන නිදහස් වීම ගැනත්, ඒ වෙනුවෙන් මේ වගේ දිගුකල් පවතින නිෂ්පාදනයකින් දෙන උත්තේජනයත් ඉතාම ලස්සනට පෙන්නුම් කරනවා. ඒ වගේම හැඟීම්බර කතාන්දරයක් බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන හැටිත් මේ ඇඩ් එකෙන් පැහැදිලිව දැකගන්න පුළුවන්.

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?